ටෝනි ඇබොට්ගේ පක්‍ෂ නායක තනතුරට අභියෝග

ටෝනි ඇබොට්ගේ පක්‍ෂ නායක තනතුරට අභියෝග

r744005_6113791

ඔස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබොට් ගේ පක්‍ෂ නායක තනතුරට තම පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුගෙන් අභියෝග එල්ල වී තිබේ.

මීට වසර එකහමාරකට ආසන්න කාලයකට ඉහත දී වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ නායකත්වයට පත් වූ අගමැති ටෝනි ඇබොට් ගේ ජනප්‍රියත්වය පසුගිය සති කිහිපය තුළ දී ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු පවසන්නේ වත්මන් අගමැතිවරයා මැතිවරණ පොරොන්දු කඩ කර ඇති බවයි.

පිලිප් ආදිපාද
එංගලන්තයේ පිලිප් ආදිපාදවරයාට ඔස්ට්‍රේලියානු නයිට් නාමයක් ප්‍රදානය කිරීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වී ඇති අතර ලිබරල් පක්‍ෂයට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බලය අහිමි වීම ද ටෝනි ඇබොට් ට දැඩි ලෙස බලපා තිබේ.

මේ නිසා ඔහුගේ පක්ෂ නායකත්වය තහවුරු කිරීමට පක්ෂය තුළ ඡන්දයක් විමසිය යුතු බවට මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කළේය.

එම අභියෝගයට මුහුණ දීමට තමා සුදානම් බව වත්මන් අගමැති ටෝනි ඇබොට් පවසන අතර ඒ සඳහා ඡන්ද විමසීම අඟහරුවාදා  පැවැත්වීමට නියමිතයි.

Share this: