31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල 26 දා සිට සුගතදාස ක්‍රීඩාංගණයේදී

31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල 26 දා සිට සුගතදාස ක්‍රීඩාංගණයේදී

තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් උරගා බැලෙන ‘සිව් දිග තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක පිරිසක් සහභාගීත්ව­ී වෙති.

ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කීරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරන මේ ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ 31 වැනි වරටය.

අවුරුදු 20න් ඉහළ සහ පහළ ලෙස වයස් කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන තරගාවලියේදී ජවන හා පිටිය තරග ඉසව් 68ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

මෙවර ක්‍රීඩා උළෙලේදීත් වයස් කාණ්ඩ දෙකෙහි දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනාට වටිනා යතුරු පැදි හතරක් පිරිනැමෙන අතර නව ශ්‍රී ලංකා තරග වාර්තාවක් බිහි කිරීම වෙනුවෙන් රු 50,000ක්ද, ජාතික යෞවන ක්‍රීඩා තරග වාර්තාවක් බිහි කිරීම වෙනුවෙන් රු10,000ක්ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම පසුගිය වසරේ මාතර කොටවිල පැවැති 30 වැනි ක්‍රීඩා උළෙලේ 20 න් පහළ කාන්තා තුන් පිම්ම තරග ඉසව්වෙන් මීටර් 11.95ක දක්ෂතාවක් දක්වමින් දක්‍ෂතම ක්‍රීඩිකාව වූ නාගරික තාරුණයා දිස්ත්‍රික්කයේ වී.ආර් හිමාෂා කුරේ, 20න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වෙන් නව තරග වාර්තාවක් (තත්.21.33) බිහි කරමින් දක්ෂතම ක්‍රීඩකයා වු මාතලේ දිස්තික්කයේ එස්.පී.අරුණදර්ශන, 20න් ඉහළ කාන්තා මීටර් 400 ඉසව්ව තත්.54.52කින් නිමා කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීෂා රාමනායක සහ 20න් ඉහළ පිරිමි උස පැනීම තරග ඉසව්වෙන් මීටර් 7.23 ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා වු පුත්තලම දිස්ත්‍රික්කයේ ඩබ්.පී අමිල ජයසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කීරීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙලේදී කාන්තා හා පිරිමි වොලිබෝල්, නෙට්බෝල්, කබඩි අවසන් තරග මෙන්ම, 3 වැනි ස්ථානය සඳහා වන තරග ද මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය 26 දා ප.ව 3.00 ට, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කීරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැතිනිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ කනිෂ්ක සුරනිමල රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වෙයෙන් පැවැත්වෙන අතර සමාප්ති උළෙල 29 දා ප.ව 4.00ට මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ.

Share this: