20ට  එ.ජා.පය හොර ගල් අහුලයි

20ට එ.ජා.පය හොර ගල් අහුලයි

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බව යි.

විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවයි.

තවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, 19 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා විපක්ෂය පූර්ණ සහයෝගය ලබා දුන්නේ 20 වන ව්‍යස්ථා සංශෝධනය නොපමාව සම්මත කිරිමට රජය ලබාදුන් සහතිකය මත බවයි.

එසේම නිමල් සිරිපාල ද සිල්වා මහතා එම නිවේදනයෙන් පවසන්නේ, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමේ ඇති වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවයි.

තවද අදාළ නිවේදනයේ සඳහන්වෙන්නේ, එක්සත් ජාතික පක්ෂය මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ නම් එය මෙරට ජනතාව රැවටීමක් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසීරුතාවයට පත් කිරිමට කරනු ලබන කුමන්ත්‍රණයක් බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හොර ගල් ඇහිදිමකින් තොරව සිය ස්ථාවරය පැහැදිලි කිරිම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ වගකීමක් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩදුරටත් සඳහන් වෙයි.

Share this: