19 අහෝසි කළ යුතුයි – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යාපනයේදී කියයි

19 අහෝසි කළ යුතුයි – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යාපනයේදී කියයි

රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (30 දා) යපනයේදී පැවසීය.

19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලය රටේ ජනාධිපතිට, අගමැතිට හා කථානායකට බෙදී තිබීමෙන් ඔවුන් සමග වැඩකරන විට රට අවුල් සහගත තත්ත්වයකට පත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.

රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා කීවේය. ගැටලූව වන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමැති වන අගමැතිවරයා කියන එක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ කරුණු ප‍්‍රකාශ කළේ යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේ පැවැති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

මගේ අවුරුදු පහකට ආසන්න කාලයේදී මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිදු කෙනෙකුට පත්තුකරලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්නට ඕනෑ. අනෙක් හිටපු සියලූ ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ තුවක්කු පත්තුකළ හැටි, ආණ්ඩුවේ මැදිහත්කම මත දේශපාලන වශයෙන් හිරිහැර කරපු ඒවා, ශාරීරික වධ හිංසා දුන්න ඒවා, ගෙවල් දොරවල් ගිනි තියපුවා, මාධ්‍ය ආයතන ගිනි තියපුවා, මාධ්‍යවේදීන්ට කළ හිරිහැර පීඩා, සම්බන්ධයෙන්.

මා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය ශක්තිමත් කරලා තිබෙන්නේ. ඒ නිසා කිසිදු චෝදනාවක් මට නැහැ. ඒ නිසා විවේචන කොච්චර තිබුණත් නිදහස, සාමය හා සමානාත්මතාව ඇති කිරීම මට කළ හැකි උපරිම ලෙස කරලා තිබෙනවා.

ඒ වගේම කියන්නට ඕනෑ පසුගිය අවුරුදු හතර හමාරෙන් අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරු අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගණනක් වියදම් කළා. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුක‍්‍රම විශේෂඥයෝ, කෝටි ගණන් වියදම් කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධ්‍යනය කරන්න ලෝකයේ රටවල්වල ගියා. මා කියා තිබුණා ඡුන්දෙට ඉස්සල්ලාත් පස්සේත් පසුගිය වසර හතරේදීත් ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරුද්දක් නොවෙයි.

අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ගැන කතා කරන විට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දේශපාන භේද අමතක කර ආණ්ඩුව හා විපක්ෂය මෙය ඉටුකළ යුතුයි, රට වෙනුවෙන්. එහෙම කළේ නැතිනම් රටේ යහපත් රාජ්‍යයක පාලනයක් ඇති කරන්න බැරි වෙනවා. ජනාධිපතිවරණය ළඟ එන අතර ආණ්ඩුවට තවමත් මෙය නිවැරදි කරන්නට කාලය තිබෙනවා යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share this: