ස්ථීර ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් මහේන්ද්‍රන්ට වරෙන්තු

ස්ථීර ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් මහේන්ද්‍රන්ට වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බස්නාහිර පළාත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (09 දා* වරෙන්තු නිකුත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක්‌ සලකා බැලූ සම්පත් අබේකෝන්, සම්පත් විඡේරත්න, හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

එම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ටෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුක්‌ කළ සිතාසිය ඔහු මේ වනවිට පදිංචි සිංගප්පූරුවට අධිකරණ අමාත්‍යාංශය මගින් යෑවීමට අදාළ වාර්තා ලබන දෙසැම්බර් 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී නියෝග කළ විනිසුරු මඬුල්ල අර්ජුන මහේන්ද්‍රන්ට නිකුත් කළ වරෙන්තුවට අදාළ වාර්තාව ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළහ.

එම විත්තිකරුට නඩුව කැඳවූ මුල් අවස්‌ථාවේදීම වරෙන්තු නිකුත් කරන ලෙසට අවශ්‍ය කරුණු තහවුරු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පසුගිය ජූලි 19 වැනිදා නඩුව මුල්වරට කැඳවූ අවස්‌ථාවේදී විනිසුරු මඬුල්ලෙන් ඉල්ලීමක්‌ කළ අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය විනිසුරු මඬුල්ල ඊයේ (09 දා) නිකුත් කළහ.

2015 පෙබරවාරි 27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර නිකුතු වෙන්දේසියේදී රුපියල් බිලියන 10058 ක්‌ වටිනා භාණ්‌ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යවහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය සිදුකිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු නව දෙනකුට හා පරපෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

Share this: