සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ අගමැතිට දඩ

සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ අගමැතිට දඩ

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත.

ඒ අනුව ගෘහස්ත දුම්පානය සහ රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට එලෙස දඩ ගෙවීමට සිදුව තිබේ. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා ගොඩනැගිල්ලක් තුළට වී දුම්පානය කර ඇති අතර රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් ද පවත්වා ඇත.

එම රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු තවත් කිහිපදෙනකු සහභාගී වී තිබෙන අතර ඔවුන් කිසිවකුත් සමාජ දුරස්ථභාවයට අදාළ නියෝග හා සීමා පිළිපැද නැතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

රුමේනියානු මාධ්‍ය මෙම සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා සහ තවත් කිහිපදෙනකු දුම්පානය කරන අයුරු මේස මත ආහාර සහ මත්පැන් බෝතල් තිබෙන අයුරු ද එම ඡායාරූපවල දැක්විණි. ඡායාරූපයේ සිටි කිසිවකුත් මුඛ ආවරණ පැළැඳ නොසිටි බවත් ඔවුන් කිසිවකුත් සෞඛ්‍යාරක්ෂිත දුරස්ථභාවය පවත්වා නොගත් බවත් වාර්තා විය.
සිය උපන්දිනය යෙදී තිබුණු මැයි 25 වැනිදා මෙම ඡායාරූපය ගත් බව රුමේනියානු අග්‍රාමාත්‍යවරයා මීඩියාෆැක්ස් පුවත් සේවයට පවසා තිබිණි. රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
රුමේනියාවෙන් අද (31) පස්වරු වනවිට ආසාදිතයන් 19,133 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 1,259ක් ලෙස දැක්විණි.

Share this: