රනිල්ට එරෙහි විශ්වාසභංගය ගෙනවමයි

රනිල්ට එරෙහි විශ්වාසභංගය ගෙනවමයි

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය මූලික කටයුතු සූදානමින් පවතින බවයි.

ඊයේ දිනයේ එය ආරම්භ කළ බවත් ඊයේ සවස 6.00 පමණ වන විට එම විශ්වාසභංගයට අත්සන් 60ක් පමණ ලැබුණු බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, මනූෂ නානයක්කාර යන මන්ත්‍රීවරු සහබාගි විය.

තවදුරටත් අදහස් දක්වමින් අලහප්පෙරුම මහතා කියා සිටියේ විශ්වාසභංගයට රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද කිහිපදෙනෙකු අත්සන් තබා ඇති බවයි.

තවද මීට ඉහතදී අවස්ථා දෙකකදී ගෙන ආ විශ්වාසභංග යෝජනා පරාජයට පත්වුණා වුවද මෙවර එය ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් වනු ඇති බවත්, ඉදිරි සතිය තුළ ප්‍රමාණවත් පරිදි අත්සන් ලැබුණු පසු එය කථානායකවරයාට ලබාදීමට ක්‍රියා කරන බවත් ඔහු පැවසුහ.

1951 සිට එජාපය හා ශ්‍රීලනිපය අතර පැවතියේ හා පැවතිය යුතු වූයේ අලියා සහ හෙණ්ඩුව අතර වැනි සම්බන්ධයක් වුවද, මේවන විට ජාතික ආණ්ඩුව තුළින් එකී සම්බන්ධය අලියා සහ දිවුල්ගෙඩිය අතර සම්බන්ධයක් බවට පත්ව ඇති බවත් අලහප්පෙරුම මහතා මෙහිදි අවධාරණය කළේය

Share this: