මවකගේ ගුණය – දයාබර මෑණියන් වෙත ආදරයෙන්

මවකගේ ගුණය – දයාබර මෑණියන් වෙත ආදරයෙන්

දස මාසයක් මා කුසතුල හොවාගෙන
දුක් වේදනා නිතරම විඳ දරාගෙන
මා හැදු වැඩු පනමෙන් රැක බලාගෙන
අමතමි මෑනියන් හද පිරි දයාවෙන

සාගරයක් පමණ දරුපෙම හිතේ තියන්
අපි නව දෙනෙක් මේ ලෝකෙට ජනිත කරන්
හොඳ මග යවන්නට අපමණ වෙහෙස දරන්
වීරිය දුන්නෙ ලොව දෙවියොද සතර වරන්

නරකත් හොඳත් මේ ලෙස වෙන්කර ගන්න
නරක අයින් කර හොඳ ලංකර ගන්න
කියා දුන් අපට හරි මග වෙත යන්න
අවසර අම්මේ ඔඛෙ පා යුග නම දින්න

ජීවත් වන්නෙ ආගම දහමට අනුවයි
හදවත් පිරී ඉතිරෙන්නේ කරුණාවයි
ඒ හැම ඛෙලෙන් දීර්ඝායුෂ ලැබගන්නයි
තිස්තුන් කෝටියක් දෙවි (මව) රැක දෙන්නයි

ඔබ වැනි උතුම් කෙනෙකුට දෝනිය වීම
පෙර අත් බවේ ලොකු පිනකිය වැටහීම
දන් දුන බුදු සසුන වෙත බැති බරව හද
මතු බුදු වන්න අම්මේ ඒ පින මදිද

ලොව වටිනා වස්තු වශයෙන් නම් කෙරුන
රන් රිදී මුතු මැණික් වෛරෝඩි ආභරණ
වනයේ වෙසෙන ඇතුගේ ගජමුතු මෙන්න
ඒ සැමටම වඩා අම්මා මට වටින

මල් වත්තක පිපුනු ලස්සන මලක් වගේ
ඉතිරේ ගුණය කරුණාබර හදෙහි අතේ
දරු මුණුබුරු පිරිස පනහත් පනිය වගේ
රැජිනක් ලෙසින් වැජඹෙයි දිවි ගමන් මගේ

දරු මුණුපරන් වටකරගෙන එක පිම්මේ
කල්ගත කරන ඔබ ජීවිත සැන්ඳෑවේ
කරදර බිඳ දමා ජය ලැබු සැනසීමේ
ඔබ රං කඳකි මගෙ ආදර සුදු අම්මේ
අතින් අල්ලගෙන ලිද වෙත ගෙන යන්න
ලිෙඳන් වතුර ඇද හොඳ හැටි නාවන්න
කුණු ටික අතුල්ලා රෙදි සෝදා දෙන්න
මා කල පින් මදිද අම්මේ පව සන්න

උදේ සවස දහවල නැති කිසි වෙනසක්
උයා පිහා ගන් දේ දී ලැබු සතුටක්
ගම්පොල කුමාරිත් ලෙඩ දුක ගැන බැලූමත්
මල්ලී, කුසුමු ලැබගති මොක්පුර යෑමක්

කරුහක්කා, හින්නි අක්කා, සුදු නංගී
මසකට වරක් එයි ඔබ වෙත ගෙන තෑගී
පින් මදි නිසා මම දුරු කතරක සැංගී
ගුවනින් එවමි ඔබවෙත මේ දුක්කවි ගී

අම්මේ ඔබේ ගුණ ලියවූ කවි කොලයක්
සමගින් එවමි මම අද ඔබහට ලිපියක්
කියවා බලා එය කුනු කූඩෙට නොදවන්
මා සිහිවෙන්න බලමුද සතියකට වරක්

අම්මේ ඔබේ ගුණ කඳ කවි කරන්නට
මා ලැබු දැනුම මදි ඒ ගැන ලියන්නට
කාලය මදි බැවින් තව කවි ගොතන්නට
අවසර දෙන්න අම්මේ තිත තියන්නට

සංකල්පණය – එම්.එච්.එම්. අතපත්තු
462/1,
බලගොල්ල,කෙන්ගල්ල
මහනුවර

Share this: