බස් නැවතුම්පළ 3ක් හදන්න කෝටි 13ක් – ගෝඨාභයට එරෙහිව පැමිණිල්ලක්

බස් නැවතුම්පළ 3ක් හදන්න කෝටි 13ක් – ගෝඨාභයට එරෙහිව පැමිණිල්ලක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි කියමින් ජවිපෙ විසින් අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදී තිබේ.

2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා කියයි.

මේ සම්බන්ධයෙන් අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීමෙන් පසුව මාධ්‍ය අමතමින් වසන්ත පියතිස්ස මහතා කියා සිටියේ මෙම අතිවිශාල මූල්‍ය වංචාවට අම්පාර හිටපු දිස්ත්‍රීක් ලේකම්වරයා ද සම්බන්ධ වී ඇති බවයි.

දැනට මාතලේ දිස්ත්‍රීක් ලේකම් වශයෙන් කටයුතු කරන නීල් ද අල්විස් මහතා විසින් අවස්ථා 3කදී චෙක්පත් 3ක් (රුපියල් කෝටි 13ක්) හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ බැංකු ගිණුමකට යවා ඇති බව වසන්ත පියතිස්ස මහතා පැවසීය.

එම මුදල් වලින් මහඔය බස් නැවතුම්පළ ඉදිකිරීමත්, පදියතලාව බස්නැවතුම්පළ ඉදිකර අවසන් කිරීමත් හා දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පළ අලුත් වැඩියා කිරීමත් සිදුකළ බව ඔවුන් සඳහන් කර ඇති බව හෙතෙම කීවේය.

කෙසේ වුවද මහ ඔය බස්නැවතුම්පළ හැරුණු විට පදියතලාව බස්නැවතුම්පළ තවමත් ඉදිවෙමින් ඇති බවත්, දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පළේ සිදුව ඇත්තේ තීන්ත විතරක් ආලේප කිරීම පමණක් බවත් ඔහු පැවසීය.

ඒ අනූව 2013 අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව බස් නැවතුම්පළ 3ක් සැදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඇති බැංකු ගිණුමකට රුපියල් කෝටි 13ක් චෙක්පත් මගින් එවා එම මුදල් බස් නැවතුම්පළ 3ක් සෑදීමට වැය කිරීමෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව හෙතෙම කීවේය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාත්, අම්පාර හිටපු දිසාපතිවරයාත් වග උත්තරකරුවන් කරමින් තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් බාරදුන් බව වසන්ත පියතිස්ස මහතා සඳහන් කළේය.

මේ අතර අම්පාර නගර සභාවේ සභාවේ ඉන්දික නලීන් ජයවික්‍රම මහතා 2011 වසරේදී එහි සභාපතිවීමෙන් පසු මේ දක්වා කාලය තුළ වාහන කිහිපයක හිමිකරු වී ඇති බවත්, ඔහු සතුව විශාල මුදලක් ඇති බවත්, සඳහන් පැමිණිල්ලක් අද අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කළ ඔහු කියා සිටියේය.

එවකට රුපියල් 10,000ක් වූ සභාපතිවරයාගේ වැටුප මේවන විට 25,000ක් බවත්, එපමණ වැටුපක් ලබන පුද්ගලයෙකු වාහන කිහිපයක හා විශාල මුදලක හිමිකරු වන්නේ කෙසේදැයි සොයාබලන ලෙස එම කොමිසමට තොරතුරු සහිතව ලිපිගොනු බාරදුන් බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.

උපුටගැනීම අද දෙරණ

Share this: