දැඩි සෞඛ්‍ය නීති යටතේ රට යලි විවෘතයි

දැඩි සෞඛ්‍ය නීති යටතේ රට යලි විවෘතයි

බස්නාහිර පළාතට පනවා තිබු නිරෝධායන අනිදිරි නීතිය මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට හැර බස්නාහිර පළාතටත්,දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් ඇඳිරිනීතිය ඉවත් වනවා.

මේ අනුව රට තුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අදාළ නීතිමය තත්ත්වයන් සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් කරුණු පැහැදිළි කර තිබෙනවා.

බස්නාහිර පළාතට පණවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට අවසන් වූවත් ලංකාවේ පොලිස් බලප්‍රදේශ 25 ක සහ කුරුණෑගල මහනගර සභා ප්‍රදේශයත් පානදුර ප්‍රදේශයේ ග්‍රාමසේවා වසමකුත් හුදෙකලා ප්‍රදේශ බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම හුදෙකලා ප්‍රදේශවල සිටින අයට හෝ ඉන් බැහැර වීමට හෝ බැහැර සිටින්නන්ට එම ප්‍රදේශවලට ඇතුලු වීමට කිසිලෙසකින් හෝ අවසර
ලැබෙන්නේ නැහැ.

එම ප්‍රදේශවල සිටින රැකියා හෝ වෙනත් කාර්යයන්හි නියුතු වන අයටත් ඒ සඳහා පිටතට පැමිණීමට නොහැකියි.

විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ එම හුදෙකලා ප්‍රදේශ අවදානම් ප්‍රදේශ වන බවයි. ඒ අනුව, එම ප්‍රදේශවලින් යම් අයකු
පැමිණියොත් ඔවුන් එම ආයතනවලට විෂබීජ රැගෙන එන්නන් විය හැකියි.

එම නිසා එම ප්‍රදේශවල සිටින සේවකයින් සේවයට කැඳවීමෙන් වළකින මෙන් අපි සියලුම ආයතනවලට දැනුම් දෙන්නෙමු.

මේ අයුරින් හුදෙකලා කළ ප්‍රදේශ හරහා වාහන නොනවත්වා ධාවනය කළ යුතුයි.

ඒ අනුව, එම ප්‍රදේශයනහිදී මගීන් බැසයාම හෝ නංවාගැනීම කළ නොහැකියි.

එමෙන්ම වාහන නවතා තැබීම ද තහනම් වන අතර, මෙම නීතීන් සියලු පොදු ප්‍රවාහන සේවාවන්ටද පොදු වේ.

මෙම ප්‍රදේශයන්හි ජනතාවගෙන් ගර්භනීමාතාවන් හා හෘද රෝගීන් වැනි රෝගාබාධවලට ප්‍රතිකාර ලබන්නකුට හදිසි ප්‍රතිකාර සඳහා බලපත්‍ර ලබාගැනීමකින් තොරව ආසන්නතම රෝහලට යා හැකියි. වෙනත් කිසිදු හේතුවකට හුදකලා කළ ප්‍රදේශයකින් පිටතට යාමට හෝ පිටස්තරයකුට ඇතුළු වීමට අවසර නොලැබේ.

මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ඩිලිවරි සේවාවන්ට අවසර ලබා දීමට තීරණය කර ඇත.

මෙම ප්‍රදේශවල ආහාර, ඖෂධ හා සුපිරි වෙළඳසැල් ආදියට එම ප්‍රදේශ ඇතුළත ඩිලිවරි සේවාවන් ලෙස කටයුතු කළ හැකි නමුත් වෙළඳසැල් විවෘත කිරීම කළ නොහැකියි.

මෙම ප්‍රදේශතුළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබේ.

විශේෂයෙන්ම කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ තට්ටු නිවාස 05 ක් සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කර තිබේ.

ඒවායේ සිටින්නන් ඉන් පිටතට පැමිණීම තහනම් වන අතර ඔවුන් සඳහා අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සැපයීමට ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මකයි.

මෙම ප්‍රදේශවල හෝ දිවයිනේ ඕනෑම ස්ථානයක ස්වයං නිරෝධායනයට ලක් කළ තැනැත්තන් අනිවාර්යයෙන් නිවෙස්වලම රැඳී සිටිය යුතුය.

ඔවුන් සිටින එම ස්ථානවලින් බැහැරට පැමිණීම නිරෝධායන නීති යටතේ වරදක් වන අතර ඒ සම්බන්ධව නීතිමගින් කටයුතු කරනු ලැබේ.

හෙට දිනයේදී බස්නාහිර පළාතට පැමිණෙන හා පිටවන අධිවේගී මාර්ග හා වෙනත් පිවිසුම් විවෘත කරනු ලැබේ. එම ස්ථානයන්හි පොලිස්
නිලධාරීන් රඳවා අධීක්ෂණය කරනු ඇත.

මෙහිදී, හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ගමනාගමනය සිදුවූවද අත්‍යවශ්‍ය හේතු සඳහා පමණක් සංචරණය සීමා කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු ආයතන විවෘත කිරීම සම්බන්ධව ගත්විට 2020 ඔක්තෝබර් 15 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්
රෙගුලාසි කෙරෙහි අනිවාර්යයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටීමට කැමතියි. ඔබ කරුණු 07 ක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

කාර්යාලයක්, වෙළඳසැලක් විවෘත කරන විට ඔබ ඇතුළු කළ යුත්තේ සමාජ දුරස්ථභාවයට අනුකූල වන පිරිසක් පමණි.

අත් සේදීමට ස්ථානයක්, මුහුණ ආවරණ පැළඳ සිටීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂාකිරීමේ ක්‍රමවේදයක්, පැමිණෙන්නන්ගේ ලැයිස්තුවක් ආදිය පවත්වා ගත
යුතු වේ.

මේස ආදිය පිළියෙල කිරීමේදී ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. මෙම පොදු ක්‍රමවේද වලට අමතරව විශේෂ ආයතන 55 ක් සඳහා වෙන් වෙන් වශයෙන් නිර්ණායක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පළ කර ඇති අතර, එම ආයතන ඒවාට අනුගතව කටයුතු කළ යුතුය.

අප ඉල්ලා සිටිනවා සියලු කාර්යාල, දෙපාර්තමේන්තු, ආයතන හා පුද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් මේ සියල්ලට අනුගතව කටයුතු කරන ලෙස. එසේ නොකළහොත් නිරෝධායන නීති වලට එරෙහිව කටයුතු කළා සේ සලකා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

ඔබ ලංකාවේ හුදකලා කළ හෝ නොකළ කවර ප්‍රදේශයක සිටියත් සෑම පුරවැසියකුම මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය තබා ගැනීම
අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි.

Share this: