‘දඩයම් ටෙලි’පෙන්වා යහපාලන ආණ්ඩුව ජනතාවගේ බඩට ගහනවා

‘දඩයම් ටෙලි’පෙන්වා යහපාලන ආණ්ඩුව ජනතාවගේ බඩට ගහනවා

වත්මන් ආණ්ඩුව ජනතාවට හිටපු මැති ඇමතිවරුන් “දඩයම් කිරිමේ ටෙලි නාට්‍ය”පෙන්වමින් ඔවුන්ගේ ඇස්වලට වැලි ගසන අතරේ බඩු මිල හොර රහසේම ඉහළ දමා තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අද (25)නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

“අපේ ආණ්ඩුවට මේ අය චෝදනා කළේ වංචා, දූෂණ, සිදුකර ජනතාවට ජීවන බර පටවන ආණ්ඩුවක් කියලයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණ සමයේ පොළේ ගියා. බඩු මිලට ගන්න ආපු ජනතාවට එහිදී කීවා, ‘මේ වංචා දූෂණ නැති කරලා ජනතාවට සහන මිලට මම බඩු දෙනවා’ කියලා.

මේ ආණ්ඩුවට දැන් මාස 05යි. අලූත් අය-වැයකුත් හදා ගෙන ආපු මේ අය ජනතාවට කියපු සහන දුන්නාද? වංචා දූෂණ නතර කරලා ඒ ඉතිරි කරගත්ත මුදලින් රට සශ‍්‍රීක කරන බවයි කිවේ. අද සියලූ සංවර්ධන වැඩ නතර කර තිබෙනවා. මේ අය දැන් සංවර්ධන වැඩ නතර කරලා ජනතාවට ‘ටෙලි නාට්‍ය’ පෙන්වමින් යනවා. හිටපු මැති ඇමතිවරුන් අත්අඩංගුවට ගනිමින්, බන්ධනාගාරගත කරමින් මේ අය ‘ටෙලි නාට්‍ය’ පෙන්වනවා. ජනතාවගේ ‘ඇසට වැලි ගැසීමයි’ එමගින් මේ අය කරන්නේ. ජනවාරි 08 වැනිදා සිට සියලූ සංවර්ධන වැඩ නතරකර, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, වැනි වචන ජප කරමින්, හිටපු ඇමතිවරුන්, මන්ත‍්‍රීවරුන්, ඔවුන්ගේ පවුල්වල උදවිය දඩයම් කිරීමයි මේ අය කරන්නේ.

මේ ආණ්ඩුව ජනතාවගේ ඇසට වැලි ගසමින් මොකද කරලා තියෙන්නේ? 2015 ජනවාරි සිට 2015 මැයි වන විට බඩු මිලට මොකද වෙලා තියෙන්නේ? රතු සහල් කිලෝවක මිල 12% කින්, සුදු සහල් කිලෝවක මිල 3.5%කින්, නාඩු සහල් කිලෝවක මිල 20%කින්, සම්බා සහල් කිලෝවක මිල 9%කින් ආදී වශයෙන් අපේ ප‍්‍රධාන ආහාරයේ මිල ඉහළ ගොස් තිබෙනවා. පාන්පිටි කිලෝවක මිල පමණක් අඩුකර තිබෙනවා. කව්පි කිලෝවක මිල 6%කින් වැඩි වී තිබෙනවා. කෙලවල්ලා මාළු කිලෝවක මිල 12%කින් වැඩි වී තිබෙනවා. බිත්තරයක මිල 24%කින් වැඩි වී තිබෙනවා. වියලි මිරිස් කිලෝවක මිල 16%කින්, සුදු ළුෑණු කිලෝවක මිල 10%කින්, බී ළුෑණු කිලෝවක මිල 39%කින්, පොල් ගෙඩියක මිල 21%කින් ආදී ලෙස වැඩි වී තිබෙනවා.

සංවර්ධන වැඩ නතර කර තිබියදී මේ ආකාරයට වංචා දූෂණ නතර කිරීමට යැයි කියමින් බලයට ආ ආණ්ඩුවකට බඩු මිල අඩු කිරීමට බැරිව ඇත්තේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන් සිදු කළ බරපතළ මුල්‍ය අපරාධය ඇතුළු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සිදුකරන වංචා, දූෂණ නාස්ති නිසා නොවේද? මේ ආණ්ඩුවේ දූෂිත බව මේ ආකාරයට බඩු මිළ ඉහළ යාමෙන්ම ජනතාවට වටහා ගත හැකියි.

මා ඉහත බඩු මිල ඉහළ යාම උපුටා දැක්වූයේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ තොරතුරු අනුවයි. අද මේ ආකාරයට ජීවත් විය නොහැකි තත්ත්වයක් ඇති කොට තිබෙනවා.

පාන්පිටි මිල බස්සපු නිසා කුමක්ද සිදුව ඇත්තේ? නැගෙනහිර පළාතේ සියලූ සහල් මෝල් වැහෙන්න යනවා. සහල් තොග එළියට දාගන්න විදියක් නැහැ. සහල් පරිභෝජනය 20%කින් අඩු වී තිබෙනවා. සහල් පිටි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.

අපේ ආණ්ඩුව පාන්පිටිවලට බදු ගහලා ස්ථාවර මිලක් පවත්වාගෙන ආවේ හේතු සාදක ඇතිව බව දැන් ජනතාවට පෙනෙනවා ඇති. නිරෝගිමත් ජාතියක් හදන්නයි එහෙම කළේ. අද ‘ප‍්‍රීමා’ බහුජාතික සමාගමට අපේ රටේ ජනතාවට පාන්පිටි කවලා ලෙඩ කරන්න ඉඩකඩ සලසා දී තිබෙනවා. මේ පැහැදිලි චිත‍්‍රයෙන් තේරුම් ගන්න මේ ආණ්ඩුව සිදු කරන ජනතාව මුලාවේ දැමීමයි”

උපුටාගැනීම අද දෙරණ

Share this: