ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම ධර්ම දේශනා…

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම ධර්ම දේශනා…

ගමේ ජනතාවත් සමග ගමට ගොස් ආගමික වතාවත්වල නිරතවී නායකයන් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පැවැත්වීමට නියමිත ධර්ම දේශනා මාලාවේ පළමුවැන්න බක් මස පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද දවසේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
 
මෙම ධර්ම දේශනා මාලාව ඉදිරියේදී සෑම පුර පසළොස්වක පොහෝ දිනකම දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එක් විහාරස්ථානයක පැවැත්වීමට නියමිතය.
 
පොහෝ දින ධර්ම දේශනාව සදහා සහභාගීවීමට අද පෙරවරුවේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
 
අනතුරුව විහාරාධිපති පූජ්‍ය දඹගොල්ලේ ධම්මාරාම නායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
 
අනතුරුව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් විය. අග්‍රමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් අද දින ධර්ම දේශනාව පැවැත්වීය.
 
ජයන්ති සිරිසේන මැතිණියද, මැති ඇමතිවරුන් පිරිසක්ද ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්ව සිටී අතර ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක්ද ඊට සහභාගී වූහ.
 
අනතුරුව ජනාධිපතිතුමා එම ජනතාවගේ සුව දුක් විමසමින් සුහද කථා බහකද නිරත විය. 
 
ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: