චීනය සමඟ එක්ව ශ්‍රී ලංකාව ඉදිරියටත් මාර්ග සංවර්ධනයේ

චීනය සමඟ එක්ව ශ්‍රී ලංකාව ඉදිරියටත් මාර්ග සංවර්ධනයේ

ශ්‍රී ලංකාව තුල, චීන සමාගම් විසින් ආරම්භ කර ඇති මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති බාධාවකින් තොරව ඉදිරියටද සිදු කර ගෙන යාමට අවස්ථාව ලබා දී ඇතැයි රජය පවසයි.

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මහතා, ෂිංහුවා ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින්, පවසා ඇත්තේ මෙරට මාර්ග සංවර්ධන කටයුතුවල නියැලි චීන කොන්ත්‍රාත් සමාගම් සඳහා එම කටයුතු ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් අවශ්‍ය මුදල් ගෙවීම් සිදු කර ඇති බවයි.

තවද ඇතැම් චීන සමාගම් ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන කටයුතු අතරමඟ පසුගිය කාලයේ දී නවතා දමා තිබු අතර, ඔවුන්ට නියමිත මුදල් ප්‍රතිපාදන නොලැබී යාම හේතුවෙන් එලෙස එම කටයුතු වලින් ඉවත් වී තිබුණි.

එසේම මෑත කාලයේ දී ඇරඹූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු මේවන විට සිදුකෙරෙමින් පවතී.

තවදුරත් අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ, ඉකුත් සතියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන සමාගම් විසින් සිදුකරනු ලබන මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් අදාළ කොන්ත්‍රාත් සමාගම් වෙත ලබා දීමට කටයුතු කළ බවයි.

ඒ අනුව මේ වනවිට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය, කොන්ත්‍රාත් බාරගෙන ඇති සමාගම් වෙත දැනුම් දී තිබේ.

උදය රංජිත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ද චීනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවද, පසුගිය වකවානුව තුළ ආරම්භ කළ බොහෝමයක් මාර්ග සංවර්ධන ව්‍යාපෘති දියත් කරන ලද්දේ චීන කොන්ත්‍රාත් සමාගම් විසින් බවත්ය.

Share this: