‘ඉවක් බවක් නොමැතිව ඉදිවන කර්මාන්තවලට මිනිස් ජීවිත බිලි දීමට ඉඩ තබන්නේ නෑ‘ – ඇමති සජිත්

‘ඉවක් බවක් නොමැතිව ඉදිවන කර්මාන්තවලට මිනිස් ජීවිත බිලි දීමට ඉඩ තබන්නේ නෑ‘ – ඇමති සජිත්

ඉවක් බවක් නොමැතිව කර්මාන්ත ඇති කර ධන බලය හෝ වෙනත් බලයක් උපයෝගී කර ගනිමින් මිනිස් ජිවිත විනාශ වන්නට ඉඩ තැබිය නොහැකි බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කම්කරු කොමසාරිස් කාර්යාලයේදී එම නිලධාරින් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන Leoch lanka (pvt)Ltd නම් බැටරි කාර්මාන්ත ශාලාවේ සිදුවන පාරිසරික ගැටළු හා එහි සේවකයන්ට සිදුවන අගතිය පිළිබද පැවැති සාකච්ඡාවකදීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටඅත කර්මාන්ත පුරවරයේ ක්‍රියාත්මක වන බැටරි කර්මාන්ත ශාලාවක උද්ගත වී තිබෙන පාරිසරික හා සෞඛ්‍යමය හානිය පිළිබදව අදාළ ආයතනයේ හිමිකරුවන්, කම්කරු ප්‍රජාව හා කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන සාකච්ඡා කරගෙන යන බවත් එහි අරමුණ දැනට උද්ගත වී ඇති ගැටළුවට විසදුම් ලබා දීමට බව අමාත්‍යවරයා පැවසිය.

පලමු කරුණ නම් එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන්ගේ ශරිර තුළට ඊයම් ඇතුළු වීමේ විශාල අවදානමක් හටගෙන තිබේ. එයින් ඔවුන්ගේ සෞඛ්‍යයට අතිශයින්ම හානි කර සහ අවදානම් තත්ත්වයක් හට ගෙන ඇත. එනම් මෙම කර්මාන්ත ශාලාව නිසා අවට පරිසරයේ විශාල විනාශයක් සිදු වී තිබේ. වැසි දිනවල එයින් ගලා යන ජලය ඊට පහලින් ඇති රයිගම් ලුණු ලේවායට මුසුවීම නිසා එම ලුණු ආහාරයට ගැනීම පිළිබද බරපතල ප්‍රශ්ණයක් මතුව ඇත.

පසුගිය රජය සමයේ කිසිදු පැහැදිලි නිර්ණායකයකින් තොරව ඇරඹුණු එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එහි පවතින අවදානම් තත්ත්වය පිළිබද දැනුවත් නොකිරීම නිසා එහි සේවය කළ 300 කට අධික සේවක පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් බලපෑමක් එල්ල වී තිබේ.

කම්කරුවන්ට ආදරය කරන සමාජ සේවකයෙක් හැටියට ඉන් විපතට පත් වුණු කම්කරු ප්‍රජාව වෙනුවෙන් හාම්පුතුන්ගෙන් අදාළ වන්දි ලබා දීමටත්, සිදු වී ඇති අක්‍රමිකතාව නිවැරදි කරගෙන, එමෙන්ම දැනටමත් සිදු වී ඇති පරිසර හානිය හා සේවක සෞඛ්‍යයට ඇති වු තර්ජන වලක්වාගෙන ඉදිරියට යා හැකි නම් පමණක් මෙම කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වාගෙන යා හැකිය.

මෙහි වැදගත්ම දේ නම් පසුගිය කාලයේදී මෙහි සේවය අහිමි වු කම්කරුවන්ට වැටුප් හා දීමනා ලබා දීම, අවදානම් දිමනා හා වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සහ පරිසරයට ඇති වු හානියට එහි හාම්පුතුන්ගෙන් වන්දි අය කර ගැනීමයි. අපේ රටේ ජනමාධ්‍යවලට රහසක් වී තිබුණු මේ ගැටලුව හෙලිදරව් කිරීමටත් මෙවැනි ගැටළු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මිනිස් සිරුරට වස විස ඇතුළු වන මෙවැනි අවදානමක් සහිත කර්මාන්ත ශාලාවකට අවසර ලබා දුන්නේ කෙසේද කියා සොයා බැලිය යුතු බවද ඇමතිවරයා පැවසීය.

මෙවැනි කර්මාන්ත ශාලාවකට අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කර තිබුණත් මිනිස් ජිවිතවල වටිනාකම ඊට වඩා වැඩිය. එහි වටිනාකම මුදලින් මනින්ට අපහසු බවත් ආයෝජන කේෂ්ත්‍රයේ සියළු දෙනා ඒ බව වටහා ගත යුතු බවත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මෙම ගැටළුව සම්බන්ධව එම ආයතනයේ හිමිකරුවන්, සේවකයන් හා කම්කරු කොමසාරිස් ජනරාල්තුමා ප්‍රමුඛ දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කර සේවකයන්ට වන්දි අය කර දීමට කටයුතු කරන බව කියා සිටි ඇමතිවරයා, ඉවක් බවක් නැතිව කර්මාන්ත ඇති කර ධන බලය හෝ වෙනත් බලයක් උපයෝගී කර ගනිමින් මිනිස් ජිවිත විනාශ වන්නට ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කරනු ලැබීය.

වි‍ශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි තත්ත්වයකට තමා කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය

Share this: