ඉන්දියානු සාගරය යොදා ගනිමින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම.

ඉන්දියානු සාගරය යොදා ගනිමින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම.

එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය නිවාරණ සහ අපරාධ යුක්ති මණ්ඩලය විසින් එහි 13 වැනි ඉහළ මට්ටමේ සම්මේලනය අප්‍රේල් 13 වැනි දින සිට 17 වැනි දින දක්වා කටාර්හි දෝහා නගරයෙහි පවත්වන්නට යෙදුනි.

අපරාධ නිවාරණය සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් එහි 13 වැනි සම්මේලනය අප්‍රේල් මස 12 සිට 19 දක්වා කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ පවත්වන්නට යෙදුණු අතර එහි ආරාධිත මුඛ්‍ය දේශනයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සිදු කරන්නට යෙදුණි.

ඉන්දියානු සාගරය යොදා ගනිමින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම අරමුණු කර ගත් දේශනයට අනතුරු ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත් ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලයේ ප්‍රධානියා වන යූරි ෆෙඩටෝ සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහි කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාවට පැමිණ ඇත. විශේෂයෙන් ම ඉන්දියානු සාගරය යොදා ගනිමින් ජාත්‍යන්තර ලෙස මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහැරීම වළක්වා ගැනීම එහි එක් අරමුණක් වේ. එහි දී අමාත්‍යවරයා විසින් කරන ලද මුඛ්‍ය දේශනය පහත දැක්වේ.

ඉන්දියානු සාගරයේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍ය සිය පාලනය යටතේ පවතින සමුද්‍ර කලාප තුළ නීති ක්‍රියාවට නැංවීම සිදු කර ඇති නමුදු තවමත් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ඉන්දියානු සාගර කලාපය ක්ෂේම භූමියක් ව පවතී. නීති ක්‍රියාවට නැංවීමේ ප්‍රමාණවත් නොමැති වීම තවමත් සමහර අපරාධ කණ්ඩායම් කිසිදු බාධාවක් රහිත ව සිය ක්‍රියාකාරකම් සිදු කරමින් සිටී. මේ නිසා නීති ක්‍රියාවට නැංවීමේ දී ඇති අඩුලුහුඬුකම් මඟ හරවා ගැනීම සඳහා ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නීති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

සමුද්‍රයේ සිදු වන මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අනෙකුත් අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය ගම්මානයක වැසියන් වශයෙන් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වූ ඒකාබද්ධ වැඩ පිළිවෙළක් මගින් පමණකි. සමුද්‍රීය රාජ්‍ය වශයෙන් අප සමුද්‍රය මගින් එකිනෙකා බැඳී සිටින අතර එම නිසා සමුද්‍රය අපරාධකරුවන්ගේ ස්වර්ගයක් වීමට ඉඩ නොදීම සඳහා වන පොදු අවශ්‍යතාවක් ද පවතී.

සමුද්‍රය භාවිත කරමින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ ව ඇති තර්ජනය සැබෑ වූවක් මෙන් ම අවාසනාවන්ත ලෙස වේගයෙන් වැඩි වර්ධනය වන්නක් ද වේ. පසුගිය ආසන්න අතීතයේ ශ්‍රී ලංකාව තුළ සමුද්‍රය හරහා සිදු වන මත් ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහි වැටලීම් වල වැඩි වීමක් දකින්නට ලැබේ. විශාල ප්‍රමාණයේ මත් ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාව තුළට සමුද්‍රය හරහා ගෙන එනු ලබයි. 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ග්‍රීස් කෑන් වල බහා කන්ටේනරයක් තුළ අසුරා තිබූ හෙරොයින් කිලෝ 261 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී. 2015 පෙබරවාරි මාසයේ දී ඇඹරුම් යන්ත්‍ර තුළ අසුරා තිබූ තවත් හෙරොයින් කිලෝ 100 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී. සැබැවින් ම මෙම නීති විරෝධී මත් ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවේ මත් ද්‍රව්‍ය භාවිත කරන්නන් පමණක් ඉලක්ක කර ගත් ඒවා නොවේ. එම ප්‍රමාණය දේශීය වශයෙන් සිදු වන මත් ද්‍රව්‍ය පරිභෝජනයේ ප්‍රමාණය ඉක්මවා යන්නකි. එබැවින් මෙම මත් ද්‍රව්‍ය තොග උතුරු ඇමෙරිකාව, යුරෝපය, මැද පෙරදිග, ආසියාව සහ ඈත පෙරදිග රාජ්‍ය ඉලක්ක කොට ගෙන ප්‍රති නැව්ගත කිරීම සඳහා ගෙන්වන ලද ඒවා බවට සාධාරණ සැකයක් බලධාරීන් තුළ මතු ව ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත් ද්‍රව්‍ය ප්‍රතිනැව්ගත කිරීමේ ස්ථානයක් වශයෙන් පවත්වා ගෙන යාමට ඉඩ නොදීම සඳහා අප රජය දැඩි ව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් අපරාධ කල්ලි වලට පවත්වා ගෙන යාම සඳහා ඉඩ නොදීමට අදාළ දැක්මක් සහ කැපවීමක් ශ්‍රී ලංකා රජය සතු ව ඇත. මෙම කාර්යය සිදු කිරීම සඳහා අදාළ බලධාරි ආයතන නිදහස් ව ක්‍රියා කරන පරිපූර්ණ සහ ශක්තිමත් ආයතන බවට පත් කිරීමටත්, ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ව පවත්වා ගෙන යාමටත් ඉහළ මට්ටමේ වෘත්තීය භාවයකින් සිදු කිරීමටත් ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇත. මෙම අරමුණු හුදකලා ව අපට පමණක් ඉටු කළ නොහැකි ය. ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ප්‍රවාහන ජාලය අඩපණ කිරීම සඳහා අප විසින් එක්සත් ව එම ජාලයෙහි ප්‍රභවය, ප්‍රවාහන මධ්‍යස්ථානය සහ ගමනාන්තය ඉලක්ක කර ගත යුතු ය.

ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණ සඳහා විවිධාකාර වූ ප්‍රගතිශීලී නීති සම්මත කරනු ලැබ ඇත. සාර්ක් සාමාජික රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය විසින් පිළිගන්නා ලද නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ සම්මුතිය ඇතුළු අනෙකුත් සම්මුතීන්ට දායකත්වය දැක්වීමට අපට හැකියාව ලැබී ඇත. ජාත්‍යන්තර අපරාධ ජාල මර්දනය සඳහා අප රට තුළ ජාත්‍යන්තර නීති සම්මුතීන්ට අනුගත වනු පිණිසත් කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කරනු පිණිසත් අප විසින් ජාතික වශයෙන් නීති සම්මත කොට ඇත.

එක් රටක මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනයට සහ ඊට සම්බන්ධිත අපරාධ වල අදාළ බුද්ධිමය තොරතුරු, අපරාධ පරීක්ෂණ, නඩු විභාග අනෙකුත් රට වල ඊට සම්බන්ධිත කටයුතු වල දී ආධාර කර ගැනීමට හැකි විය යුතු ය යන මතය අපි දරමු. ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ජාවාරම්කරුවන් සමඟ සටන් කිරීමේ දී ඉදිරියට යා හැකි මාර්ගය එය යැයි අපගේ විශ්වාසයයි. මේ නිසා අනිවාර්යයෙන් ම එක් රටක නීති බලධාරීන් අනෙකුත් රට වල අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් යුතු ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය ව පවතී.

ආසියාවේ පැරණි ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන අප අභියෝගය කුමක් වුවද ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය රඳා පවතින බව මෙම වසරේ ජනවාරි මාසයේ පැවති ජනාධිපති මැතිවරණ ක්‍රියාදාමය තුළින් මොනවට පිළිබිඹු කර පෙන්වීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව රජය රට තුළ යහපාලනය, ස්වාධීන, අපක්ෂපාතී හා පුළුල් නීති ක්‍රියාදාමයක් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සඳහා ඇප කැප වී කටයුතු කරමින් සිටී. සමුද්‍රයෙහි සිදු වන මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමාජය තුළ වග කිව යුතු සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමට ඇප කැප වී සිටී.

එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහන සමඟ ශ්‍රී ලංකා රජයට ශක්තිමත් දිගු කාලීන සම්බන්ධතාවක් ඇත. 2014 මාර්තු මස ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහන සමග එක් ව ශ්‍රී ලංකාව සමුද්‍රයේ සිදු වන මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා නෛතික රාමුවක් සැලසුම් කිරීමට දායකත්වය දක්වන ලදී. 2014 සැප්තැම්බර් මාසයේ දී පවත්වන ලද වියානා සමුළුවට අප රජය ප්‍රධාන සාමාජිකයකු වශයෙන් සහභාගී වූ අතර ඉන්දියන් සාගරයේ සමුද්‍රික අපරාධ පිළිබඳ උපචාරාලය Indian Ocean Forum on Maritime Crime (IOFMC) යනුවෙන් හඳුන්වනු ලබන කලාපීය යාන්ත්‍රණය පිහිටුවීම සඳහා විධායක අධ්‍යක්ෂ යූරි ෆෙඩටොව් මහතාගේ ඉමහත් දායකත්වය ද සමඟ ප්‍රධාන භූමිකාවක් උසුලන ලදී. 2015 මාර්තු මාසයේ දී ජූබෝති (Djibouti) හි පැවති එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය පිළිබඳ තාක්ෂණික කමිටු රැස්වීමකට ද සහභාගී වන ලදී. 2015 අප්‍රේල් මස සීශෙල්ස් හි දී පවත්වන ලද එම ආයතනයෙහි ම සමුද්‍රයේ හෙරොයින් ප්‍රවාහනය සහ ජාවාරම පිළිබඳ  තාක්ෂණික කමිටු රැස්වීම සඳහා ද අප රජයෙහි ඉහළ මට්ටමෙහි දූත පිරිසක් සහභාගී කරවන ලදී.

මෙහි දී අවධාරණය කළ යුත්තේ ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉන්දියානු සාගරයෙහි මධ්‍යයෙහි පිහිටා ඇති නිසා සහ ශ්‍රී ලංකාවේ නොබැඳුණු දේශපාලනික ප්‍රතිපත්තියත් අනෙකුත් රටවල් සමඟ ඇති මිත්‍රශීලී සම්බන්ධතාවත් මත එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහනේ කටයුතු සඳහා පහසුකම් සැපයීමට ඉතා යෝග්‍ය වන පරිදි පිහිටා ඇත. එබැවින් ඉදිරියේ දී අපගේ සුන්දර දිවයින එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහනට පහසුකම් සැපයීමටත්, මෙවැනි වැඩසටහන් ඉදිරියේ දී පැවැත්වීම සඳහාත්, ඒ සමඟ ඉතා සුහද ව කටයුතු කිරීමටත්, සහයෝගය දැක්වීමටත් ඒ සඳහා අපගේ ඇති සූදානමත් මින් ප්‍රකාශ කර සිටිමු.

ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා මෙම සමුළුවේ දී එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි විධායක අධ්‍යක්ෂවරයා වන යූරි ෆෙඩටොව් මහතා සමඟ ඉතා ඵලදායී ද්වි-පාර්ශ්වීය සාකච්ඡා පවත්වන ලද අතර එහි දී දෙපාර්ශ්වය විසින් ම නුදුරු අනාගතයේ දී එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ශාඛාවක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවා ඉන්දියානු සාගරයෙහි සිදු වන මත් ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමට මූලික එකඟතාවක් ඇති කර ගන්නා ලදී.

Share this: