ෆ්ලෑෂ්බැක් යන වචනයෙහි අර්ථය අතීතය ආවර්ජනය කිරීම යන්නයි

ෆ්ලෑෂ්බැක් යන වචනයෙහි අර්ථය අතීතය ආවර්ජනය කිරීම යන්නයි

අප සංගීත ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කළ ෆ්ලෑෂ්බැක්ලා අදටත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙහි වැජඹෙන්නේ ඉමහත් වූ රසික ආකර්ෂණය ලබමිනි. ෆ්ලෑෂ්බැක් යන වචනයෙහි අර්ථය අතීතය ආවර්ජනය කිරීම යන්නයි.

මා මේ සිදු කරන්නට යන්නේ එක්තරා අයුරකින් අතීත ආවර්ජනයකි. එය සිදු කරන්නට යන්නේ ද ෆ්ලෑෂ්බැක්ලාගේ වීම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් අතීත ආවර්ජනයක (ෆ්ලෑෂ්බැක්) අතීත ආවර්ජනයක් කිරීම ලෙහෙසියෙන් සිදු නොවන්නක් බැවිනි. මේ අතීත ආවර්ජනයට සුවිශේෂී හේතුවක් තිබේ. ඒ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ආරම්භ කොට වසර විසි පහක් ගතවීමයි. 1990 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇරැඹි ෆ්ලෑෂ්බැක්ලාගේ එදා මෙන්ම අද ද නියමුවා වූයේ රොෂාන් ප්‍රනාන්දුයි. එහෙයින් මේ අතීත කතාවට හොඳම සුදුස්සා ඔහුයි.

වසර විසි පහක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. වෘත්තීමය සංගීත ශිල්පීන් විදිහට එවන් වූ කාලයක් අචලව සිටීම එක්තරා ආකාරයක අභියෝගයක්. මේ වසරට අපිට අවුරුදු විසි පහයි. බොහොම සතුටින් අප ගැන උදම් අනමින් අපි රිදී ජුබිලිය සමරනවා. ඒ වගේම අපේ රසික රසිකාවන්ට හිස නමා ආචාර කරනවා ෆ්ලෑෂ්බැක් සඳහා වසර විසි පහක් පුරා දිරිය දුන්නට.

ෆ්ලෑෂ්බැක් ඇරැඹි දින ඔබට මතකද?

මට හරියටම දවස කවද ද කියන්න මතකයේ නැහැ. හැබැයි ඔක්තෝබර් මාසයේ ඉරු දිනක තමයි හා හා පුරා කියලා පුහුණුවීම් ආරම්භ කළේ.

කවුද ෆ්ලෑෂ්බැක් යන නම තැබුවේ?

ඒක මගේ පියා වූ ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මාගේ නමක්. ඔහු තමයි කණ්ඩායමේ කළමනාකරු විදිහට හිටියේ. අදටත් එහෙමයි. තාත්තාගේ යෙදුම ෆ්ලෑෂ්බැක් නම ජනප්‍රිය ගීත රචක සුනිල් යෝගේන්ද්‍ර මහත්මා අනුමත කළා. එදා ඉඳලා අපි ෆ්ලෑෂ්බැක් යන නම කණ්ඩායමට භාවිත කළා.

කොහෙද මුල් කාලයේ ඔබ ඇතුළු ෆ්ලෑෂ්බැක්ලා පෙර පුහුණුවීම් කටයුතු කළේ?

ගෙවල් කිට්ටුව තිබුණා කල්පනී කියලා ශබ්දාගාරයක්. ඒකෙ පිටිපස්සේ කුඩා කාමරයක පළමු පුහුණුවීම තිබුණා.

එතකොට සංගීත භාණ්ඩ?

ඇත්තම කිව්වොත් එදා මං වාදනය කලේ ඩ්‍රම් සෙට් එක අපගේම නිර්මාණයක්. තේ කොල පෙට්ටියක්, බයිසිකල් චේන් එකක්, යකඩ කෑලි, දැති රෝද යොදාගෙන ඒක හදලා තිබුණේ. එක්ස්රේ කොලවලින් තැනුව ඔක්ටර් පෑඩ් එකකුත් තිබුණා. ඒ වන කොට වදුලි ඕගනයක්වත් අප සතුව තිබුණේ නැහැ. ඒ වෙනුවට භාවිත කළේ පුංචි මෙලෝඩිකාවක්. ඒත් එක්කම ඒ භාණ්ඩවල තනියට බොක්ස් ගිටාර් දෙකකුත් එකතු වුණා.

එදින කණ්ඩායමේ හිටපු අයගෙන් කවුද වර්තමානය වන විටත් ෆ්ලෑෂ්බැක් අතහැර නොයා සිටින්නේ?

එහෙම ඉන්නේ කිංස්ලි පීරිස් පමණයි. ඔහු එදත් ෆ්ලෑෂ්බෑක් එක්ක හිටියා. අදත් ඉන්නවා. පහුකාලීනව අරුණ තමිල් එක් වුණා. ඊටත් පහුකාලිනව නොයෙක් දෙනා කණ්ඩායමට ආවා. ගියා.

කොයි කාලය වන විට ද ෆ්ලෑෂ්බැක් කියන නම ජනප්‍රිය වන්නට පටන් ගත්තේ?

අපි 1990 ඉඳලා 91 දක්වා හරියටම අවුරුද්දක් පුහුණුවීම්වල නියැලුණා. ඊට පස්සේ ගමේ තියෙන පොඩි පොඩි උත්සවවලට සහභාගි වුණ. වසර පහක් හයක් එහෙම ප්ලේ කළා. ඔය අතරේ අපට අවස්ථාවක් ලැබුණා එවකට ජනප්‍රිය සංගීතමය වැඩසටහනක් වූ මන්දාකිණි සඳහා සහභාගි වෙන්න. මහේෂ් නිශාන්ත තමයි එයට එන්න අපිට උදවු කළේ. මන්දාකිණි හරහා අපව මුළු රටම හඳුනා ගත්තා කිව්වොත් වැරැදි නැහැ. ඊට පසුව තමයි අපිට රට වටේම ෂෝස් ලැබුණේ.

ෆ්ලෑෂ්බැක්ලා ජනප්‍රිය වුණු යුගයේ මෙරට තවත් සංගීත කණ්ඩායම් කිහිපයක්ම හරි හරියට ප්‍රසංග වේදිකාව තුළ හිටියා?

ඔව්. මාත් ඒ අයගේ ෂෝස් බලලා තියෙනවා. ඔවුන් එකම රිදම් එකකට ප්ලේ කළේ. මට ඕනෑ වුණේ ඒ ස්ටයිල් එකෙන් මිදිලා ෆ්ලෑෂ්බැක් එකටම අනන්‍ය වූ ක්‍රමයක් හදාගන්න. අනික ඒ කාලයේ සංගීතයේ නියැලෙන්නන්ට කිව්වේ සංගීතකාරයා කියලා. ඒ වාගේම බීලා සිංදු කියපු සංගීත කණ්ඩායම් පවා හිටියා. එයාලා ප්‍රසංගයේ සජීවීව කුණුහරුප කියනවා. මම තදින් විරුද්ධ වුණා ඒ ක්‍රමයට.

ඉතින් ඔබ මොකද කළේ?

ඉස්සර ප්‍රසංග වේදිකාවේ බහුතරයක් සංගීත කණ්ඩායම් ගීත ගැයුවේ නටන්න. පටන් ගත්තු වෙලාවේ ඉඳලා වේග රිද්මයේ ගී ගයනවා ඉවරයක් නැහැ. මම පළමුව කළේ ඒ ක්‍රමය වෙනස් කරලා සංයමයක් ඇති සහ ආදරබර ගීත ගැයීමට ෆ්ලෑෂ්බැක්ලා යොමු කිරීම.

මොන වගේ ප්‍රතිචාරයක් ද සංගීත ලෝලීන්ගේන් ෆ්ලෑෂ්බැක්ලට ලැබුණේ?

අපි මුලින්ම ඒ අත්හදා බැලීම කළේ තව එක සැරයක් කියන ගීතය ගයලා. මට මතකයි මිනිස්සුන්ට නුහුරු ගතිය දැනිලා එදා අපට හූ කිව්වා.

ඒ වැඩේ අල්ලලා දාන්න හිතුණේ නැතිද?

කොහෙත්ම නැහැ. වාහනයක් ස්ටාර්ට් කරපු ගමන් සීයට පාගන්න බැහැනේ. ධාවනය කරලා ටිකක් දුර යනකම් හිමින් යන්නේ. අපි ඒ වගේ ක්‍රම ක්‍රමයෙන් අපේ ස්ටයිල් එක හුරු කළා. මිනිස්සුත් කලෙකට පසු ෆ්ලෑෂ්බැක්ලා කියන්නේ කවුද කියලා දැනගෙන අපව තරයේ වැළඳ ගත්තා.

ඔබ සංගීත කණ්ඩායමට විනය නීති පද්ධතියකුත් ඒ අතරේ ගේනවා?

ඒකත් අපේ ස්ටයිල් එක ඇතුළේ වෙච්ච දෙයක්. මම අපේ අයට ඩ්‍රින්ක් අරන් සිංදු කීම තහනම් කළා. ඒ වගේම කුනුහරුප කිව්වෙත් නැහැ. මේ රීති පවත්වාගෙන යන ගමන් තුන් දෙනෙක් නිවේදනයේ යෙදෙව්වා. වේදිකාව වටා දුවමින් ගිටාර් වාදනය කළා. එකම විදිහට ඇඳුම් ඇන්දා. පසුකාලීනව අපව අනුකරණය කරන්නත් බොහෝ කණ්ඩායම් හුරු වුණා.

ෆ්ලෑෂ්බැක්ලා ජනප්‍රියත්වය ලබද්දී එහි ප්‍රබල සාමාජිකයින් කිහිප පොළක්ම හදිසියේම ඔබව අතහැර වෙනත් කණ්ඩායම්වලට ගියා. ඒ අවස්ථාවන්වලට ෆ්ලෑෂ්බැක් නායකයා විදිහට කොහොමද ඔබ මුහුණ දුන්නේ?

ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා නිදහසේ තමන්ට අවශ්‍ය තීරණ ගන්න. මම කළේ මෙච්චරයි. කවුරු කොහොම මොන කණ්ඩායමකට ගියත් අපේ සංගීත රහ ඒකාකාරීව පවත්වා ගත්තා. ඒ හේතුව නිසා කිසියම් කෙනෙක් අපෙන් ගැලවුණා කියලා රසිකයන්ට දැනුණේ නැහැ.

බොහෝ කලකින් ඔබව ඩ්‍රම්ස් වාදකයකු විදිහට අප දැක්කේ නැහැ? ඇයි එහෙම වුණේ?

ඩ්‍රම් එක ගහන කොට මට රසිකයන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අඩුයි. එතැනින් නැගිටලා ඇවිත් මයික්‍රෆෝනය අතට ගත්තම ප්‍රේක්ෂකයින්ට සමීප වන්නට මට හැකියාව ලැබුණා. ඒකයි මම දැන් ඩ්‍රම්ස් ගහන්නේ නැත්තේ.

ඇතැම් අය කියන්නේ ගායකයකු විදිහට ඔබ වැඩි ජනප්‍රියත්වයක් ලබාගන්න එහෙම කළයි කියලා?

ඒක තනිකරම වැරදි මතයක්. ගායකයකු ලෙස මට ජනප්‍රිය වෙන්න ඕනෑ නම් මම තනිව ප්‍රසංගවලට සහභාගිවෙනවනේ. නමුත් මම එහෙම යන්නේ නැහැ. ෆ්ලෑෂ්බැක් එක්ක විතරයි මම ගයන්නේ.

ඒත් කිංස්ලි පීරිස් එහෙම යනවා නේද?

කිංස්ලි අපේ නිත්‍ය ගායකයා. ඔහු ප්‍රසංගය ආරම්භයේදී ගී ගැයුවට පස්සේ ඉතිරි පැය කිහිපයම වාහනනයට වෙලා නිකම් ඉන්නවා. ඒ අතරතුර ඔහු කිසිම වැඩක් කරන්නේ නැහැ. ඇත්තටම ඒ කාලය අපරාදේ. එහෙයින් අපේ තාත්තා තීරණය කළා කිංස්ලිව අමතර ප්‍රසංගවලට යවන්න.

ෆ්ලෑෂ්බැක් අංක ධ්ධ් ඕල්රයිට් බිහි වන්නේ කොහොමද?

ප්‍රසංග වේදිකාවේ ෆ්ලෑෂ්බැක් සඳහා ඇති ඉල්ලුම වැඩි වුණා. බොහෝ සංවිධායකවරුන් කියන්නේ අපගේ කළමකාරිත්වය යටතේ වැඩ කරන්න ආසයි කියලා. එහෙයින් අපි ඕල්රයිට් පටන්ගන්න හිතුවා. අපේ කළමනාකාරිත්වය යටතේ ඕල්රයිට් තියෙන හින්දා ඉතා සතුටින් සංවිධායකවරු ඔවුනට කතා කළා. එහි නායක ශලින්ද ප්‍රනාන්දු ද හොඳ වගකීමකින් යුතුව කණ්ඩායම පවත්වාගෙන යනවා.

අද වන විට ෆ්ලෑෂ්බැක්ලාට වැඩිය ඕල්රයිට් ජනප්‍රිය වෙලා තියෙනවා කිව්වොත් මොකද හිතෙන්නේ?

ඒක මෙහෙමයි. අපේ තියෙන සංගීත රස නෙවෙයි ඕල්රයිට්ලා ළඟ තියෙන්නේ. ඔවුනට කැමැති වෙනම කණ්ඩායමක්, අපට කැමැති වෙනම කණ්ඩායමක්.

ප්‍රසංග වේදිකාව හරිම සුන්දර තැනක්. එවන් වූ තැනකදී ෆ්ලෑෂ්බැක්ලා මුහුණ දුන් අමිහිරිම අත්දැකීම ගැනයි මම අහන්නේ?

අත්දැකීම් එකක් නෙවෙයි දෙකක් තියෙනවා. අපේ සංගීත ස්ටයිල් එක බොහොම නිරවුල්. ඒ හින්දා බොහෝ දෙනා හිතන්නේ ඇත්තට ගීත කියන්නේ නැතුව බොරුවට කට හොලවනවා කියලා. දවසක් කිංස්ලි සිංදු කියද්දී වයසක කෙනෙක් දුවලා දුවලා ඇවිත් කිංස්ලිගේ මයික් එක උදුර ගත්තනෙ. ඔහු එහෙම කරලා තියෙන්නේ අපි ඇත්තටම සිංදු කියනවද බලන්න. කිංස්ලිට නම් හොඳටම කේන්ති ගියා. කොහොම හරි එදා ඒ අය දැනගත්තා අපි ඇත්තටම සිං කරනවා කියලා. තව දවසක් අපි ප්‍රසංගයේ ගයන කොට කොහෙන්ද ආව ලොකු ගලක් අපි ඉදිරියේ හිනා වෙවී හිටිය ළමයකුට වැදුණා. ඒ පුංචි ළමයගේ ඔළුවෙන් ලේ පෙරද්දි ළමයාගේ පියා ඔහුව තුරුළු කරගෙන සෙනඟ අතරින් නොපෙනී ගියා. මට පුදුම විදිහට කලකිරුණා ඒ ගල එවපු කෙනා ගැන. ඇත්තටම එදා වුණු කලකිරීමට ප්‍රසංග වේදිකාවෙන් පවා ඉවත් වන්නට සිතුණා.

ෆ්ලෑෂ්බැක්ලා මේ අවුරුදු විසිපහ ඇතුළත ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ කතා කරමින් මේ කතාව අවසන් කරමු?

අප ප්‍රසංග වේදිකාවේ කළ වෙනස අනිත් අය අපව අනුකරණය කිරීම අප ලද ලොකු ජයග්‍රහණයක්. මේ කාලය ඇතුළත අපේම ආයතනයක් අපේම ශබ්දාගාරයක් අරඹන්නට හැකි වුණා. ඒවා ගැන මතක් වෙද්දී හිතට අමුතු ප්‍රබෝධයක් දැනෙනවා. ඒ වගේම රටවල් ගණනාවක නායකයන් සහභාගී වන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී අපට ගයන්න ලැබුණා. පසුගිය යුද සමයේදී රණවිරුවන්ට දිරිදෙන්න අන්තිම සටන, නිවාඩුවට මං එන්නම් වැනි ගීත ඉදිරිපත් කළා. සංගීත කණ්ඩායමකට හරිම කලාතුරකිකන් තමයි එවැනි අවස්ථා ලැබෙන්නේ. මේවා තමයි අප ලද ජයග්‍රහණ. තවත් ඉදිරියට රසික ආදරය මධ්‍යයේ බොහෝ කාලයක් මේ ගීත ක්ෂේත්‍රය ඇතුළේ දිගු ගමනක් යන්න අප අපේක්ෂා කරනවා.

සටහන – ප්‍රසාද් සමරතුංග

Share this: