හතුරුසිංහට තීන්දු තුනක ඉරණමක්

හතුරුසිංහට තීන්දු තුනක ඉරණමක්

1. දිනන ක‍්‍රමයට පඩි වැඩි කර ගැනීමේ කොන්ත‍්‍රාත්තුවට එකඟවීම

2. ඉවත් කිරීමට එරෙහිව නඩු මගට බැසීම

3. බංග්ලාදේශය සමග යළිත් වැඩ ඇරඹීම

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි නවසීලන්ත සංචාරයෙන් ඉවත් කරන ලද ප‍්‍රධාන පුුහුණුකරු චන්දික හතුරුසිංහට ඉදිරියේදී තීන්දු තුනක් අනුව කටයුතු කිරීමට සිදුව තිබේ. ඒ අනුව ඔහු ගන්නා තීන්දුව කුමක්ද යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ කී‍්‍රඩා අමාත්‍යවරයා විමසිල්ලෙන් පසුවේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සහ විස්සයි විස්ස තරග තුන සඳහා චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයට කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළ ඉල්ලීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පළමුව කැමැත්ත පළ කර සිටියේය. නමුත් හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කරන ලද යෝජනාවට යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුකොටගෙන නවසීලන්ත සංචාරයෙන් හතුරුසිංහ ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහට තවමත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඇති බවත් එසේ කරන්නේ නම් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් අනූව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් සකස් කරන නව කොන්ත‍්‍රාත්තුවකට අනුව හතුරුසිංහ කටයුතු කළ යුතුව තිබේ.

නව ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව අනුව හතුරුසිංහට දැනට මාසයකට ගෙවනු ලබන ඇමරිකානු ඩොලර් 40000 ක වැටුප වෙනුවට මසකට ඇමරිකානු ඩොලර් 25000 ක වැටුපකට කොන්ත‍්‍රාත්තුව අලූත් කළ යුතුවේ. ඒ අනුව අදාළ වැටුප කණ්ඩායමේ ජයග‍්‍රහණයේදී වැඩි පුර ගෙවන ක‍්‍රමයකට සකස් කළ යුතුව ඇත. ඒ සඳහා හතුරුසිංහ කැමැති වන්නේ නම් ඔහුව ඉවත් නොකරන බවද ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි.

‘‘හතුරුසිංහත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. මම ඔහුව අයින් කරන්න ගියේ නැහැ. මම කිව්වෙ ඩොලර් හතළිස් දහසක් ගෙවනවා වෙනුවට ඇ.ඩො. 25000 කට අඩු කරලා දිනන ක‍්‍රමයට පඩිය වැඩි කරන ක‍්‍රමවේදයකට කොන්ත‍්‍රාත්තුව යළිත් අලූත් කරන්න කියලා. මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා පැය 24 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් අදහස දන්වන්න කියලා. නමුත් එහෙම දැන්වූයේ නැති නිසා මම කිව්වා නවසීලන්ත සංචාරයේදී හතුරුසිංහව පුහුණුකරු තනතුරෙන් අයින් කරන්න. දැන් නවසීලන්ත සංචාරයේදී වැඩ බලන පුහුණුකරුවා වශයෙන් ජෙරම් ජයරත්න කටයුතු කරනවා.’’

ක‍්‍රීඩා ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති ක‍්‍රමවේදයට හතුරුසිංහ අකමැති වන්නේ නම් ඔහුට නඩු කීමට අවස්ථාව ඇති බවත් එසේ නොවන්නේ නම් ඉවත් කරන බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කරයි. ඒ අනුව හතුරුසිංහට දැන් ඔහුගේ පුහුණුකරු රාජකාරිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර තුනක් යටතේ කටයුතු කිරීමට හැකියාව තිබේ. ඒ අලූත් ක‍්‍රමවේදයට සකස් කළ කොන්ත‍්‍රාත්තුවට කැමැති වනවාද, නඩු කියනවාද නැතිනම් යළිත් බංග්ලාදේශයට යනවාද යන්න තීරණය කිරීමයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය ලබා ගැනීමට චන්දික හතුරුසිංහ සමග එරට ක‍්‍රිකට් සභාපතිවරයා සාකච්ඡුා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර ඒ අනුව ඔහු බොහෝ දුරට බංග්ලාදේශයට යෑමට නියමිතව තිබේ.

‘ලංකාවේ ඉඳලා හතුරුසිංහට තීරණයක් ගන්න පුළුවන්. ටාගට් එකක් අපි දෙනවා. කොන්ත‍්‍රාත්තුව අලූත් කරන්න නැතිනම් නඩු කියන්න. මාස 18 ක් තියෙනවා කියලා ඒ ගානම දෙන්න කියලා එයාට කියන්න බැහැ. මම වැරදි දෙයක් කළේ නැහැ. අස් කරන්න කිව්වේ නැහැ. චණ්ඩියෙක් වගේ කියනවනම් මට මාස 18 ක් තියෙනවා කියලා ඒක වැරදියි. රටක් විදිහට අපි හැමෝම නැගිටින්න ඕන. ඉස්සර හිටපු ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඔහේ ගහන්නම් වාලේ කොන්ත‍්‍රාත්තු ගැහැව්වනම් ක‍්‍රිකට් ආයතනයම ඒ අවුල ලිහා ගත යුතුයි.’’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසීය.

Share this: