සෝමවංශ නැවත ජවිපෙ..?

සෝමවංශ නැවත ජවිපෙ..?

ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පැවසුවේ, පක්‍ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමඟ ඉදිරි සතියේ දී ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයෝ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

හිටපු නායකයාව යළි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කර ගැනීමේ අරමුණ ඇතිව එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති අතර, කෙසේ නමුත් අමරසිංහ මහතාගේ ඉවත් වීම පක්‍ෂයේ පවතින අර්බුදයක් නොවන බවත් එය පක්‍ෂයේ බෙදීමක් නොවන බවත් බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

තවද, රත්නායක මහතා කියා සිටියේ, මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පාර්ශවයන් පසුකාලීනව පුද්ගල චරිත ලෙසිනුත් දේශපාලනික වශයෙනුත් සමාජයේ පැත්තකට විසිවුණු සිද්ධීන් ඇතැයි යන්නය.

සෝමවංශ අමරසිංහ සහෝදරයාව නැවත පක්‍ෂයට එක් කර ගැනීමට විශාල උත්සාහයක් ගන්නා බව රත්නායක මහතා කියා සිටියි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී සෝමවංශ අමරසිංහ මහතා පවසා තිබුණේ ජනවාරි අටවෙනිදා පරාජය වූ බලවේගයත් සමඟ තමා දේශපාලන වශයෙන් සන්ධානගත නොවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රට තුළ සමාජවාදය උදා කිරීමට තමන් සතු ශක්තිය යොදා නොගැනීම තමන් ඉල්ලා අස්වීමට හේතු වූ බව සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කර තිබුණි.

Share this: