සුසිල් ගහපු ගේම දන්නේ සුසිල්ම තමයි

සුසිල් ගහපු ගේම දන්නේ සුසිල්ම තමයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට සුදානමක් ඇති බව ආරංචි වන බවත්, මැතිවරණයේ දී ඔහු ගැසුවේ ඩබල් ගේම් එකක්ද නැතහොත් ට්‍රිබල් ගේම් එකක්දැයි නොදන්නා බවත් හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (24) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මහ මැතිවරණයට පසුව අප පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුව මෙය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ජනතාවට ගෞරවය හා ප‍්‍රණාමය පුදකර සිටිනවා.

පසුගිය මැතිවරණය “නිදහස් හා සාධාරණ මැතිවරණයක්“ කියා බොහෝ අය අර්ථකථනය කරනවා. නමුත් මෙය සාධාරණ මැතිවරණයක් වීමට නම් රටේ විධායක ජනාධිපතිවරයා එක් පාර්ශ්වයකට වාසි සැලසෙන ක‍්‍රියාමාර්ග නොගත යුතුව තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා, රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු බලවේගවල ඡන්දයෙන් දිනපු ජනාධිපතිවරයා, තමන් දිනවපු බලවේග දිනවීම සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයෙන් ජය නොලබන බවට මතයක් තහවුරු කිරීමට දරුණු ක‍්‍රියාමාර්ග ගණනාවක්ද ගනු ලැබුවා.

එවැනි තත්ත්වයක් ඇතුළේ වුවත් මන්ත‍්‍රී ධුර 95ක් දිනාගන්න ලැබීම ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස තමයි අපි දකින්නේ. මෑත ඉතිහාසයේ බලවත්ම විපක්‍ෂය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කරමින් තමයි මහ මැතිවරණය අවසන් වුණේ. මැතිවරණය අවසන් දින කිහිපයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගනු ලැබූවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ලිපියක් එව්වා, එජනිස මහ ලේකම්වරයා එම ධුරයෙහි කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ගත්තා, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්ව තිබූ දින 02 තුළ සති අන්ත පුවත්පත්වල මුල්පිටුවල “සන්ධානය ජය නොගන්නා බවට වූ පරණ පත්තර පිටු“ දැන්වීම් ලෙස පළ කරනු ලැබුවා.

මේ සියලූ පියවරයන්හි ප‍්‍රතිඵලයක් ලෙස නාගරික ජනකොටස් තුළ යම් ව්‍යාකූල තත්වයක් නිර්මාණය කරන්න ඔවුන්ට හැකිවුණා. මැතිවරණ ප‍්‍රතිඵලය දෙස බැලීමේදී වුවත් යම් දිස්ත‍්‍රික්කවල ප‍්‍රතිඵලවල අසාමාන්‍ය තත්වයක් දැකගත හැකියි. ඒවා පිළිබඳව අපි දැනටමත් අධ්‍යයනය කරමින් සිටිනවා. කෙසේ වෙතත් මහජනතාව මේ පිළිබඳව බරපතළ සැක සංකා පළකර තිබෙනවා. දැනට ඒ පිළිබඳව අදහස් දැක්වීමට අප ඉක්මන් වන්නේ නැහැ. අපේ අධ්‍යයනයෙන් අනතුරුව ජනතාවට ඒ පිළිබඳව නුදුරේදීම පවසනවා.

ජනතාව බුලත් කොළයට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුලක් හදන්න නොවෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් ජනතාවත් කියන්නේ තමන් ඡන්දය දුන්නේ ශ‍්‍රී ලනිපය සමඟ හවුලේ ආණ්ඩුවක් හදන්න නොවෙයි කියලයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජාතික ආණ්ඩුවක් හදනවා කීවත් එජාපයට ඡන්දය දුන් බහුතර ජනතාවගේ මතය වූයේ “හැදිය යුත්තේ යූ.එන්.පී ආණ්ඩුවක්“ යන්නයි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදන්න බැරිවුණා නම් අපි විපක්‍ෂය විදිහට ඊට ඡුන්දය දුන් ජනතාවගේ අයිතිය සහ ගෞරවය ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා.

ඡන්දයකදී දේශපාලන පක්‍ෂ සහ ඊට ඡන්දය දෙන ජනතාව අතර ඇති වන බැඳීම කෙබඳුද? ඡන්දය දෙන ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව ඉටු කිරීමයි. ඒ නිසා ඡන්දය දුන් ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව අත්හැර වෙනත් භූමිකාවකට පණ පෙවීමට එම පක්‍ෂයට හැකියාවක් නැහැ. 106ක පමණ ආසන සංඛ්‍යාවක සිටි එජාපය ශක්තිමත් කරන්න අපි කවරකු හෝ කටයුතු කරනවානම් ඒක සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපෑමක්. නීතිමය අයිතීන් ගැන පමණක් හිතන අයට ඒ ගැන පමණක් සිතා ජනතාව සමඟ වන සදාචාරාත්මක බැඳීමට පයින් ගැසිය හැකියි. නමුත් ජනතාව සමඟ වන සදාචාරාත්මක බැඳීමට ගරු කරන අපි වගේ දේශපාලන පක්‍ෂවලට එසේ කටයුතු කිරීමට බැහැ. ඒ නිසා අපි වෙන වෙනමත්, ඒකාබද්ධවත් අපට ඡුන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් සුරැුකීමට පෙනී සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා එම ධුරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් ඡන්ද ප‍්‍රචාරක කටයුතු අවසන් වන මොහොතේ වාරණ නියෝගයක් ගැනීමට මේ අය කටයුතු කළා. එම වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ උසාවිය නොමඟ යවමින්, කූඨ ලේඛන භාවිතා කරමින් බව දැන් හෙළි වී තිබෙනවා. මගේ අතේ තිබෙන්නේ එවැනි ලේඛනයක්. එය දුමින්ද දිසානායක මහතා විසින් යවනු ලැබූ ‘පෙරකලාසියක්.’ නමුත් එහි අත්සන් තබා ඇත්තේ විශ්වා වර්ණපාල මහතායි. ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘පෙරකලාසි’ (තමන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට බලය පවරන ලේඛන) කූඨ ලේඛන බවයි පෙනෙන්නේ. දුමින්ද අත්සන් කළ යුතු තැන වර්ණපාල අත්සන් තබලා, වර්ණපාල අත්සන් කළයුතු තැන දුමින්ද අත්සන් තබලා බවයි පෙනෙන්නේ. මට ඒක හමු වුණේ නැහැ. මෙහෙම ලේඛන දීලා තමයි නියෝග ගත්තේ. පවතින මැතිවරණ නීතිය අනුව මහ මැතිවරණයකට නාම යෝජනා භාරදුන් මොහොතේ සිට ජාතික ලැයිස්තුව නම්කර යවන තෙක් මැතිවරණයට තරඟ වදින පක්‍ෂයක මහ ලේකම්වරයා වෙනස් කරන්න බැහැ. නමුත් මේ අය කූඨ ලේඛන පෙන්වලා සන්ධානයේ මහලේකම්වරයා ඉවත් කළා.
උපුටා ගැනීම අද දෙරෙන

Share this: