සිරිපා සමය උඳුවප් පොහොය දා ඇරැඹේ

සිරිපා සමය උඳුවප් පොහොය දා ඇරැඹේ

මෙවර (2019/2020) ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසොළොස්වක පෝය දා (11) සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිම්යෝ පැවසූහ.

ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, සදාතුක කරඬුව හා දේවාභරණ දොරට වැඩම කිරීම ශ්‍රීපාද නායක හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් මත, චාරිත්‍රාණුකුලව මෙම මස 09 වැනි දින සිදු කෙරේ. ලබන 10 වැනි දින අළුයම යෙදෙන සුබ නැකත් අනුව ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ සුබ නැකත් අනුව ශ්‍රීපාදස්ථානය වෙත වැඩමකරවීම සිදු කරනු ලබන්නේ පෙර වසරවලදී මෙන්ම පෙරහරවල් තුනක් ලෙසය. එක් පෙරහරක් පැල්මඬුල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල, ගින්ගත්හේන, හැටන්, නොර්වූඩ්, මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ්‍රීපාදස්ථානය දක්වාත්, අනෙක් පෙරහර රත්නපුර, එරත්න මාර්ගය හරහා ශ්‍රීපාදස්ථානය දක්වාත්, අනෙක් පෙරහර බලංගොඩ, බගවන්තලාව, නොර්වුඩ් මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ්‍රීපාස්ථානය දක්වාත් වැඩම කිරීම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදු කෙරේ.

උඳුවප් මස පුන් පෝය (11) දා අළුයම යෙදෙන සුබ නැකත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීමෙන් අනතුරුව සඳාතුක කරඬුව හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ප්‍රථම ශ්‍රීපාද පත්ම පූජාව පැවැත්වීමෙන් පසුව සිරිත් පරිදි ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වේ. මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය පුද බිමට ගෙන ඒම හා භාවිතය සපුරා තහනම් කැර ඇත.

Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>