සිරිකොතදී ජනපති මැතිවරණයේ රහස් 2ක් මෛත්‍රී හෙළිකරයි

සිරිකොතදී ජනපති මැතිවරණයේ රහස් 2ක් මෛත්‍රී හෙළිකරයි

පසුගිය ජනවාරී 5දා රාත්‍රී මරදානේ පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට ආරක්ෂක හේතු‍න් මත නොයන්නැයි දන්වා ආරක්ෂකයින් හා රියදුරන් තමා නිවසේ තනිකර ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට පැමිණ තමාව රැස්වීමට රැගෙන ගිය අයුරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිරිකොතදී අද පෙරවරුවේ පැවැති එජාප 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කතාවේදී හෙළිකළේය.

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දවස වූ 5 වැනිදා තමන් ඇඹිලිපිටිය, කළුතර, මොරටුව ඇතුළු රැස්වීම් ගණනාවකට සහභාගි වී නිවසට පැමිණි අතර, එදින තමන්ට සහභාගිවීමට තිබූ අවසන් ප්‍රචාරක රැලිය සංවිධානය කර තිබුණේ මරදානේ බව ජනාධිපතිවරයා පැවසීය.

රැස්වීම් සියල්ල අමතා නිවසට පැමිණි තමාට ආරක්ෂක හේතුන් නිසා මරදානේ රැස්වීමට කිසිසේත් ගෙනයාමට නොහැකි බව පවසමින් ආරක්ෂකයින් හා රියදුරන් තමන් නිවසේ තනිකර ගිය බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මරදානේ රැස්වීමට ඔබතුමා එනකන් අපි බලා ඉන්නවා යයි ය.

නමුත් ඒ වන විට ආරක්ෂකයින් හා රියදුරන් කිසිවෙකුත් නැති නිසා තමාට මරදානට ඒමට නොහැකි තත්ත්වයක් ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ කවරෙකුවත් අවශ්‍ය නෑ මම ඇවිත් ඔබතුමා රැගෙන යන්නම් කියාය.

ඉන්පසු නිවසට විනාඩි කිහිපයක් තුළ පැමිණි බවද, ඒවන විට රවී කරුණානායක මන්ත්‍රීවරයාත් පැමිණ සිටි බවද, ජනාධිපතිවරයා කියා පැවසුහ.

අනතුරුව සියලුදෙනා මරදානේ රැලියට ගිය බවත්, එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තමන් වේදිකාවට ගෙනගොස් එතුමා දස දහසක් වූ ජනතාව අතර මැදට යමින් ඒ යන සෑම තැතනකදීම දෑත් ඉහළට ඔසවා ප්‍රතිචාර දැක්වූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කලහ.

අපේ රැස්වීමේ ඔබතුමාගේ ජීවිතයට අනතුරක් නෑ යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එසේ ජනතාව අතර තැනින් තැනට යමින් අත් ඔසවා ප්‍රකාශ කළේ
යැයිද ඒ මහතා මතක් කළේය.

අවුරුදු 20ක 25ක කොල්ලෙක් වගේ එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අතරට යමින් දෑත් ඔසවමින් හැසිරුණේ යැයි ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේය.

තමන් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ගැන නොවැම්බර් 22 වැනිදාට පෙර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් එක තත්ත්පරයක් වත් හමූවී සාකච්ඡා කර නැතැයිද කියමින් ඒ හා සම්බන්ධ තවත් හෙළිදරව්වක්ද එහිදී අනාවරණය කළේය.

තවද ඇමතිවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ඇමති ආසනයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තමාට ඇසකින් සංඥාවක් දෙමින් ඉඟියක් කළ බවත්, ඒ ඉගියේ සදහන් වුයේ දැන් අපි යමු කියාය.
ඒ අනුව එසේ යාමට සුදානමින් සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නිවසට බවත්, ඒ ජනාධිපතිවරණයට අදාළ සාකච්ඡාවකට බවත්, ඔහු කියා සිටියේය.

තවද තමාත් රනිල් වික්‍රමසිංහ මහතාත් වාහනවලට නැඟී පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි පොකුණ පසුකරනවාත් සමග චොපර් එකක් පැමිණි බවත්, තවත් විනාඩි කිහිපයක් ප්‍රමාද වූවානම් එම චොපර් එකේ පැමිණි කෙනා තමාගේ ගමන වළක්වන බවද ජනාධිපතිවරයා හෙළි කළේය.

නමුත් යම් හෙයකින් එම අවස්ථාවේ පැය කිහිපයක් ප්‍රමාද වුවත් එදා ගෙන තිබූ තීරණයට අනූව අපේ ගමන යන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන ඉහත පරිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනපති කිරීමට විශේෂයෙන් එජාප පාක්ෂිකයින් ලබාදුන් සහය තමාගේ සිතේ සදා නොමියෙන සටහනක් ලෙස තිබෙන බව පැවසුහ.

ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට මුහුණදෙමින් අපට අලුත් ගමනක් යාමට දැන් සිදුව ඇති බවත්, එම ගමනටද ඔබ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත්, එහිදී පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රීලනිපය සහෝදරත්වයේ දෑත් දිගු කරන බව ප්‍රකාශ කළේය.

එසේම අප සියලුදෙනා පැය 24ම අවධියෙන් සිටිය යුතු බවත්, සතුරා දැන් දුර්වල යැයි අඩු තක්සේරුවකින් නොසිතිය යුතු බවත්, සියලුදෙනා මේ රට ඉදිරියට ගෙනයාමට අවංකව කැපවිය යුතු බවත්, ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share this: