නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටියදී ලොව පුරා හදිසියේ පැතිරුණ කොවිඩ් – 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට අතරමං වී සිටින සිසුන් 93 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-1424 දරන මෙම ගුවන් යානය අද දින උදෑසන 8.00 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
ගුවන් මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගිය මෙම ගුවන් යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ඇතුලත්.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.05 ට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර එය සවස 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා සඳහන් කලේ.
එමෙන්ම සාර්ක් කළාපයේ රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සදහා තවත් ගුවන් ගමන් රාශියක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා සඳහන් කලා.
ඒ අනුව හෙට (25) දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1144 දරන ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි වෙතත් ලබන අප්‍රේල් මස 26 වෙනි දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන ගුවන් යානය ඉන්දියාවේ කොයිම්බතූර් වෙතත්, අප්‍රේල් මස 27 දින බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරන ගුවන් යානයත්, අප්‍රේල් මස 28 දින යළිත් ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන ගුවන් යානයත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු එම රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී වලින් සහ එම රටවල බලධාරීන් සමග සාකච්ඡා කර සූදානම් කරමින් සිටින බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කලේ.