සියලුම දූෂිතයින් අපි කොටු කර ගන්නවා

සියලුම දූෂිතයින් අපි කොටු කර ගන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන්නේ අභ්‍යන්තර ත්‍රස්තවාදීන් බවයි.

ඊයේ ( 21) අත්තතනගල්ල දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් සහ දිවි නැඟුම කළමණාකරුවන් හමුවීමෙන් පසුව එම මහතා මේ බව පැවසු අතර, හොරු ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ජනාධිපතිතුමාට නොමැති බව ඔහු එහිදී පැවසීය.

වැඩිදුරටත් ඔහු එහිදී මෙසේ කීවේය.

“අද හුඟ දෙනෙක් අහන ලොකුම ප්‍රශ්න තමයි ඇයි අපි මේ හොරු අල්ලන්න පරක්කු වෙන්නේ කියලා. ඇත්තටම ගිය ආණ්ඩුව වගේ දැක්ක දැක්ක මිනිහා අල්ලලා හිරේ දාන එක නෙමෙයි අපේ ක්‍රමවේදය. නීතිය කියලා දෙයක් තියෙනවා. අධිකරණය කියලා දෙයක් තියෙනවා. අපි කිසිම අධිකරණයකට බලපෑම් කරන්නේ නැහැ. රහස් පොලිසියත් අනෙකුත් අංශත් ක්‍රියාත්මක වෙන්නේ කිසිම දේශපාලන බලපෑමක් නැතිව. ඒක හින්ද තමයි හොරු ඇල්ලීම ටිකක් පරක්කු වෙන්නේ.

නමුත් අපි දන්නවා ඉදිරියේදී මේ සියලුම දූෂිතයින් අපි කොටු කර ගන්නවා. මේ දූෂිතයින් බේරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කවදාවත් හා කිව්වේ නැහැ. එතැන තමයි ජනාධිපතිතුමාගේ නායකත්වය තියෙන්නේ.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් අපේ අභ්‍යන්තරයේ ත්‍රස්තවාදියෝ නැත්නම්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන ත්‍රස්තවාදියෝ ඉන්නේ පක්ෂයේ ඇතුළෙමයි. පිටත නෙමෙයි. ඒක තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශය. ඒ ත්‍රස්තවාදියෝ අද අත ලකුණ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අයට අත ලකුණ ගැන කතා කරන්න ඕන. අවාසනාවකට වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කණ්ඩායම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කඩලා, එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්න කටයුතු කරනවා. මේ තත්ත්වය අපි ඉතාමත් බුද්ධිමත්ව වටහා ගත් යුතුයි. ඒ අනුව අපි ක්‍රියාත්මක විය යුතුයි.

පසුගිය කාලේ සමෘද්ධි නිලධාරීන් ගමට යනකොට දුප්පත් මනුස්සයා හිනාවෙන තත්ත්වයක් තිබුණා. නමුත් පසුගිය කාලේ දිවි නැඟුම කියලා පනතක් ගෙනෙල්ලා එයින් ලොකු විනාශයක් රටට සිදු කළා. විශේෂයෙන්ම මේ දිවි නැඟුම පනත මුල්කර ගනිමින් එවකට සිටි අගවිනිසුරුවරිය විශ්වාස භංගයකින් අයින් කළා. දිවි නැඟුමෙන් කළේ මේ ආයතනයේ සල්ලි එක පුද්ගලයකුගේ යටතට පත් කිරීමයි…” අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share this: