සිත සොයා යමු.

සිත සොයා යමු.

අපට මොනවද කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ. ඇත්තටම අපට කතාකරන්න තියෙන්නේ මොනවා ගැනද? සිත කියා කතා කළත්, මනස කියා කතා කළත් අපට යම් අවබෝධයක් ඇතිවෙන්න ඕනෙ, මේ කවරක් ගැනද විමසන්නේ කියා. ජීවත්වෙන්නෙ ශරීරය බව බැලු බැල්මට පෙනුනත් දැනුම මුහුකුරායත්ම තේරෙනවා ජීවත් වෙන්නෙ සිත බව. මේ බව තමන්ටම එ්ත්තුයන තුරුම සිතා බලන්න.

ජීවත්වීමට මූලිකම දෙය සිත වුනත් එය අල්ලා ගැනීම, කොටුකර ගැනීම, ඉතාමත්ම අසීරුයි.අසීරු බව රැඳී තිබෙන්නෙ එහි ඇති ගුප්ත බව නිසයි. ඉතාමත්ම ඉවසිලිවන්තව තම නැණ පමනින් ඒ පිළිබඳව අවධානය යොමු කරත්ම ටිකෙන් ටික සිත හඳුනාගන්න ලැබෙනවා. ඒත් තමා බලන පැත්ත අනුව තමයි හැඳිනීම ලැබෙන්නෙ. ඕනෑම භෞතික දෙයක් විවිධ පැතිවලින් බලන්න පුළුවන්. එක ඇසකින් බලන විට එකවිදියක්, ඇස් දෙකෙන්ම බලන විට තව විදියක්, ත්‍රිමානරූපීව, ද්විමානරූපීව මේ ආදී විවිධ විදියට තමයි සාමාන්‍ය ඇහැටත් පේනෙන්නේ.

දැන් මේ කතාකරන සිත ගැන බලන්නට සමත් මොනම භෞතික ඇසක් හෝ උපකරණයක් හෝ මේ තාක් බිහිවෙලත් නැහැ. ඉදිරියට බිහිවෙන්නෙත් නැහැ.

සිත, එහෙම නැත්නම් මනස බලන උපකරණය සිත හෙවත් මනසමයි. කිසිම දෙයකට නැති හැකියාවක්. මසැස නොවෙයි මනස. සිත ගැන සොයන විට දැනගන්න ලැබෙන්නෙ මනස ගැනම තමයි. මෙසේ සිත ගැන සොයන කාරියට අපි අවධානය කියලයි දැනට ව්‍යවහාර කරන්නෙ. මේ අවධානය දැඩිකරන්න, දැඩිකරන්න, සිතේ ස්වරූපය වඩ වඩා හොඳින් දැනගන්නට, දැකගන්නට, අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ සෙවීම ස්වයං ශක්තියම යොදවල කරන්න පුළුවන්. හැබැයි කල් යනව වැඩියි. මේ ගැන සොයා බලා තොරතුරු දැනගත් උතුමන්ගෙන් උපකාර ලැබීම වැඩේට පහසුයි. අපි බුදුන්වහන්සේට ගෞරව කරන්න පටන් ගත්තේ අන්ධානුකරණයෙන්. ඊට පසු ඒ සම්බන්ධව පවතින පුදසිරිත් විරිත් වලදී එතුමන්ට නායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා බුද්ධ ගෞරවය වුනත් ශුද්ධ ගෞරවයක් නොවන අවස්ථා එමටයි. අපේ අසරණකමට පිහිටවෙන්න සිටින විශ්වකර්ම දිව්‍ය පුත්‍රයෙක් වගේ යම් යම් බලාපොරොත්තු සාර්ථකවීම සඳහා කරන පූජා හරියට කාට හරි අල්ලස් දීලා වැඩේ කරගන්නවා වගේ ස්වරූපයක්. කොටින්ම කියනවා නම් පන්සලේ හාමුදුරුවො වුනත් ගෙදරට වැඩමවන විට ඒ ඇත්තා සමඟ ඍජු සබඳතාවයට අල්ලසක් දෙන ආකාරයේ සැඟවුන පරමාර්ථයකුත් තියෙනවා. හාමුදුරුවො හැසිරෙන්නෙත් අපව සතුටු කරන්න අල්ලස් දෙන විදියටයි. මේ වටාපිටාව තුළ තමයි අපේ ඔලූවට ධර්ම කරුණු ඇතුල් වෙන්නෙ. ඒ නිසා ඒවායේ ශුද්ධ පදනම බිඳ වැටිල මනසට පෝෂණයක් නොවන ජීවිත පැවැත්ම ගෙනයාමටම අනුබල ලැබෙන ආකාරයෙන් තමයි කරුණු කාරණා සිද්ධ වෙන්නෙ. මේවා හිතා බැලූවොත් කාටත් තේරෙනවා. මේවා මතකයට එන්නෙ යායුතු ශුද්ධ මාවත සොයා යනවිට තමන්ම මූලිකත්වය ගතයුතු නේද කියන ස්වයං තීරණයට ආරාධනාවක් වශයෙන් පමණයි.

අපි කවුරුත් බෝධියට වැඳුම් පිඳුම් කරනවා. වැඳුම් පිඳුම් කරල නිකං එනවද? බෝධි පූජා කියන වචනෙ තේරුමද ක්‍රියාව තුළ තියෙන්නෙ. තමා හැසිරෙන විදිය කොටින්ම සිත හැසිරෙන විදිය, අවංකවම විමසන්න. කවුරු හරි විමසුවොත් බෝධි පූජාවල පරිසමාප්ත අර්ථයම කියල දෙනවා. නමුත් තමන් කළ වැඩේ නං කියන්නෙ නැහැ. තමන්ටම වංචාවක් . මේවා තමයි විමසිය යුතු කරුණු. තමාගේ ක්‍රියා ශුද්ධ වෙන්නේ මේ විදියටයි. ඒ අදියරයට පසුව තමයි සිත ශුද්ධ කරන්න පුළුවන් වෙන්නෙ. අපට මනස ගැන හදාරන්නට සිදුවන්නේ මේ පරිසරය තුළ ඉඳගෙනයි. මනස ගැන දැන ගන්නෙ කොහොමද?

විදුලිය ගැන වැඩි යමක් නොදන්න කෙනෙකුගෙන් ඒ ගැන විමසිමක් කළහොත් ඔහුත් මොනවා හරි කියාවි. අඩුම තරමින් ගන්න වැඩ ටික හරි. ගෙදර අඳුර නිවනවා. ෆෑන් වැඩ කරනවා. වතුර උණු කරගන්නවා. ශීතකරණය වැඩ කරනවා. මේ වාගේ විදුලියෙන් ලබන ප්‍රයෝජන ටික ඔහු කියාවි. හැබැයි කවදාවත් විදුලිය දැකල නම් නැහැ.ඒ වගේමයි, කවුරුවත් සිත දැකල නැති වුනාට ඒ ගැනත් ඔය වගේ දල තොරතුරු ටිකක් ඕනැ කෙනෙකුට කියන්න පුළුවන්. ඒ තමයි සිත ගැන මූලික අවබෝධය.

තවදුරටත් විදුලිය ගැන තොරතුරු ටිකක් කියන්න කීවොත් ඔහු කියාවි අපි පාවිච්චිකරන විදුලිය මනින්නෙ මීටරයකින්. එතැනට ගේන්නෙ පාරෙ තියෙන කණු වලින්. ඒ කණුවල තියෙන කම්බි දිගේ තමයි විදුලිය එන්නෙ. සමහරදාට විදුලිය අඩුවෙල ලැබෙනව. එතකොට එළිය අඩුයි. දවසක් විදුලිය වැඩියෙන් ඇවිල්ල සේරම උපකරණ පිච්චුනා. ඊට පස්සෙ ට්‍රිප් ස්විච් එක කියල එකක් සවි කළා. අකුණු ගහන වෙලාවට අපි මේන් ස්විච් එක ඕෆ් කරනවා. ඔය වගේ තවත් විස්තර දිගටම දිගටම කියාගෙන යාවි. මේ නිවසේ පාසල් යන වැඩිවයස් දරුවෙක් හිටියොත්, ඔහු මේ විස්තර අසාගෙන ඉඳලා අපි දන්නවටත් වැඩියෙ තොරතුරු ටිකක් කියන්න පුළුවන්.

මෙන්න මේවගේ තමයි සිත ගැන අවධානය යොමු කරත්ම අපට මේ තාක් සැඟවී තිබුණ ගුප්ත තොරතුරු රාශියක් අදියරෙන් අදියර හඳුනාගන්න ලැබේවි. මේ සොයායාම දැඩි අවධානයකින් අඛණ්ඩ උත්සාහයකින් කරගෙන ගියොත් අපේ සිතට පැනයාමට නොදී බැඳ තබාගන්නටත් පුළුවන්කම ලැබේවි. එහෙම බැඳ තබාගත්තොත් තමයි සිත පාලනය කරගන්න ලැබෙන්නෙ. නැත්නම් මේතාක් සිදුවී තිඛෙන්නෙ සිතට ඕන විදියට අපව පාලනය කරන එකයි. කිසිම ගෙවීමක් සන්තෝසමක් නැතිව එක එක වැඩ වහලෙකුගෙන් වගේ කරගැනීමයි. මේ වහල් බවෙන් මිදෙන්න නම් පළමුවෙන්ම අපිම අපේ සිත සොයාගත යුතුයි.

කොහොමද සිත සොයා ගන්නෙ. හඳුනගන්නෙ කොහොමද?

ගෙදර විදුලිය හඳුනගන්න ආකාරයටම තමයි මේ නොපෙනෙන සිත අඳුන ගන්නත් වෙන්නෙ. විදුලි බල්බ දැල්වෙනවා නම් එතන විදුලිය. ෆෑන් එක වැඩ කරනවා නම් එතනත් විදුලිය. ශීතකරණය වැඩ කරනව, එතනත් විදුලිය තියෙනවා. ඒ වගේ තමයි සිතත්. ශබ්ද ඇහෙනවා නම් ඒ තමයි සිත. ගඳ සුවඳ දැනෙනවා නම් ඒ දැනීම තමයි සිත. රසය දිවට දැනෙනවා, ඒ දැනීම තමයි සිත. දහඩිය දමන බව දැනෙනවා නමි ඒ දැනීම තමයි සිත. ඇඟපත වේදනා දැනෙනවා නම් ඒ දැනීම තමයි සිත. බඩගින්න, තිබහ දැනෙනවා නම් ඒ තමයි සිත. නොරිස්සුම්කම් එනවා නම්, ආදරය සිතෙනවා නම්, විවිධ දේ මතකයට එනවා නම්, ඒ තමයි සිත. ජීවත්වෙන බව තේරෙනවා නම් ඒ තමයි සිත. දැන් මේ විදියට දැනෙන මොනම දෙයක් කෙරෙහි හෝ දැඩි අවධානය යොමු කරන විට දලවශයෙන් හඳුනාගත් සිත තවත් ටිකක් පුළුල්ව දැන ගන්න පුළුවන්. මේ මොහොතේ සිතේ ක්‍රියාව තමයි දැන් අහුවෙලා තියෙන්නෙ. හොඳින් බැලූවොත් මේ දල ගොරෝසු චිත්‍රය තවත් සියුම් වෙනවාමයි. මේ දැක්ම ඉවසිලිවන්තව කරනු ලැබුවොත් කෙනෙක් නිතැතින්ම වෙනස්වෙමින් යන සිත සමඟම හඳුනමින් සිටීමට හුරුවී ගනු ලබනවා.

සියලූ ක්‍රියාකාරකම් දැනුවත්ව කිරීම යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රධානතම වැදගත් කඩඉමකට පා තබනවාමයි. මෙසේ දැනීමෙන් යුක්තව ක්‍රියා කිරීමට හුරුවීම, තමා එසේ කරන බව තමාටම අවබෝධ වීම, තමා කරන දෙය තමාගේම නිරීක්ෂණයට නතුවීම යනාදී ක්‍රියාකාරකම් රාශියක් දැනගැනීම සිත හඳුනාගැනීම යන ක්‍රියාකාරිත්වයට අනුගතව හඳුනාගන්නට ලැබෙනවා. මේ සියලූ දැන ගැනීම් ජීවත්වන පුද්ගලයෙකුගේ කය තුළම සිදුවන සිතේ ක්‍රියාකාරිත්වයක්. ඒවා සිදුවීම සමගමයි දැනගන්නට ලැබෙන්නේ.
ඊට පෙර හෝ පසුව නම් නොවෙයි. වචනවලින් හෝ දැනුම වැඩිකර ගැනීම තුළින් හෝ සිත හඳුනාගන්න බැහැ. මගේ සිත අදුනන්න ඕනෙ මට දැනෙන විදියටයි.

අපි උදාහරණ කීපයකට යොමුවී සැලකිල්ලෙන් විමසා බලමු, මෙතෙක් කතා කළ දේ, තමන් තුළින්ම අත්විඳින්නට.

හිටිගමන් අපට හඬක් ඇහෙනවා අපි ඒක හඳුනගන්නෙ වෙන විදියකට “කවුදෝ දොරට තට්ටු කරනව ඇහෙනවා” ඔය විදියට තමයි සිතට දැනෙන්නෙ. ඒ දැනීම වචනයටත් පෙරලෙවා. මේ ක්‍රියාව විමසා බලමු.

දැන් සිත ක්‍රියාවෙ යෙදිල තියෙන්නෙ කන සමඟ. කනට ශබ්දයක් දැනෙනවා ඒ තමයි සත්‍යය. නමුත් ප්‍රකාශ කරන්නෙ, “කවුද දොරට ගහනවා” කියලයි. කොයිතරම් වේගයෙන් මූලික හැඳිනීමට විවිධ දේ එකතු වෙලාද? ඒක කොහොමද උනේ? කනට දැනුනේ ශබ්දයක්. ඒ ශබ්දය පිළිබඳ මනසේ තැන්පත්ව තිබූ හඳුනාගැනීමක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නෙ. මූලික සිදුවීමට ලේබල් අලවල වගෙයි. ඇහුන ශබ්දයම හෝ අනුරූප ශබ්ද අපේ මනසේ තැන්පත්වෙලා තියෙනවා. දොරට ගහන කොට නැගෙන ශබ්ද වශයෙන් ඒ අතීත සිදුවීමක්.

දැන් අපේ සිත විමසුමට ලක්කරනවා කීවෙ මේ අන්දමින් විශ්ලේෂණය කර බැලීමකුයි. තවත් කෑල්ලක් එකතුවෙලා තිබුණනේ “කවුදෝ කෙනෙක්” කියල. ඇයි එහෙම උනේ?

එතනින් ප්‍රතික්‍රියා විධානයක් සැඟවී තියෙනවා.ඒ මොකක්ද? ගිහින් බලන්න කවුද කියලා?

ප්‍රතිචාරයත් ඒ සමඟමයි. කවුරු හරි දොරට ගහනව නම් ප්‍රතිචාර දක්වන්නම ඕනෙනේ. ඒ තමයි සිතේ විධාන. ඒවාත් අපට කල්තියා දී තිබෙන විධාන.

මීට වඩා සංකීර්ණ සිදුවීමක් බලමු. අපි දැන් කෑම මේසයේ ඉඳගෙන ආහාර ගන්නා අවස්ථාවක් සලකා බලමු. මේ ක්‍රියාදාමයේදී සිත හඳුනා ගන්නෙ කොහොමද? පුටුවෙ වාඩිවෙලා පිඟාන එක අතකින් අල්ලාගෙන අනිත් අතින් කෑම මිශ්‍රකරමින් මුඛයට ඇතුළු කරමින් මුඛයෙන් ආහාර සපමින් එහි රසය දනිමින් ආදී වශයෙන් ක්‍රියාකාරකම් රැසක්, නම් කළේ ආහාර ගන්නා අවස්ථාව වශයෙන් මෙය නැවත සලකා බලන්න. ක්‍රියාරාශියක්, මේ එක් එක් ක්‍රියා සිත මගින්ම තමා කරන්නෙ. මේ විමසීම ඉතා ඉවසිලිවන්තව කළ යුත්තක්. ආහාර ගිලදමන වේගයට මේ විශ්ලේෂණය කරන්නට බැහැ. ඒ සිත පිළිබඳ හුදු අවධානය, සමස්ථ මානසික ක්‍රියාවලියම, එකින් එක සීරුවෙන් විශ්ලේෂණය කළ යුත්තක්.

මේ සංකීර්ණ ක්‍රියාවලියට හවුල්වන්නේ සමස්ථ ශරීරයම වුවත්, ඉන් වමත පිඟාන අල්ලාගැනීමටත්, දකුණත ආහාර මිශ්‍ර කිරීමට සහ මුඛය දක්වා සැපයීමටත් යොදාගෙන තිබෙනවා.

ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය යන ඉන‍ද්‍රියයන්ගෙන්, ශරීරය කියා හඳුන්වන ඉන‍ද්‍රිය කුමක්ද? ආහාර සැපීම මුඛයෙන් සිදුවුවත් මේ මොහොතේ එහිදී ප්‍රධානත්වය ලැඛෙන්නේ දිවටයි. දත්වලට වත්, තොල්වලට වත් දැනෙන දැනීම වැදගත්වන්නේ නැහැ. ස්නායු පද්ධතිය වැඩියෙන් යොමුවී තියෙන්නේ දිවටයි. මේ සියල්ලටම ඍජු සහායක් ඇසෙන් ලැබෙනවා. ආහාරයේ රසය මතුකර දීමට ඇසේ දැක්මත් උදව්වෙනවා. ඉන‍ද්‍රියයන් වශයෙන් සිත හැසිරවීමේ ප්‍රධානත්වය දිව සහ ශරීරය යන ඉන‍ද්‍රියන් දෙකම සමානව උසුලන බව කෙනෙකුට විනිශ්චය කරන්නට පුළුවන්. එහි වරදක් නැහැ. මෙහිදී මොන ප්‍රශ්න ඇසුවත් අපි මේ කරන්නේ සිත කොටුකර ගන්නට බව අමතක නොකළ යුතුයි. නැත්නම් මූලික පරමාර්ථය ගිලිහී වෙනත් විමසුමකට සිත යොමුවෙනවා. විවිධ තැන්වලට පැන පැන තම භූමිකාව නිරූපණය කළත් වැඩි වශයෙන්ම “ආහාර ගැනීම” සම්බන්ධයෙන් සිත හැසිරෙන්නේ දිව ආශ්‍රයෙන් බව විශ්ලේෂණ ක්‍රියාවලියේදී පැහැදිලි වෙනවා නේද?

දෛනිකව සිදුවන ඕනෑම ක්‍රියාවලියක් මෙසේ විශ්ලේෂණය කර සිත කොටුකර ගන්නට පුරුදුවීම අනිවාර්ය අවශ්‍යතාවයක්.

පාන්දර නිදි පැදුරෙන් පොළවට පය ගැසූ තැන සිට ආපසු දවස නිමවා නින්දට යන තෙක් සිදුවන සියළුම ක්‍රියාකාරකම්වලට මූලික වන්නේ සිතයි. ඒ නිසා මේ කාල රාමුව තුළ සිදුවන ඕනෑම ක්‍රියාවක් අනුපස්සනා කිරීමට පුරුදුවීමයි. මෙයින් සිදුවන්නේ අනුපස්සනාව යනු ක්‍රියා සිත, දැනෙන සිතටයි. දෙකම එකවර එකමත එක පිහිටියා වාගේ විය යුතුයි.

රියැදුරු පුහුණුව ලබන ආධුනිකයාට සුක්කානම කරකැවීම පමණක්නම් කරන්න ඇත්තේ පුහුණුවන්න එතරම් කාලයක් ගතවන්නේ නැහැ. තිරිංග තද කිරීම සිග්නල් දැමීම වැනි තමාගේ ක්‍රියාකාරකම්වලට අමතරව දෙපැත්තෙන් යන වාහන ගැනත් වැටහීමක් තියෙන්න ඕනෙ. පුහුණුවීම අසීරු වන්නේ මේ නිසයි.

සිත ගවේෂණය කරන විටත් අතීත අනාගත සිතුවිලිවලින් බේරීම අසීරු කරුණක්. වැරදි පාරේ යන විට බ්‍රේක් පාගන්න ඕනෙ. වැරදි විදියට ගෙන ගියොත් අලාභ විඳින්න ඕනෙ. ජීවිත අවදානම සහ බාහිර අපහාස භීතිය සහ ලජ්ජාව මහ කරදරයක්. ඒ නිසා ප්‍රවේශමෙන් දැඩි සංයමයකින්, අඛණ්ඩව පුහුණුව ලැබීමට පුරුදු වෙනවා. සිත ගවේෂණයේදී වැරදුනාට දඬුවමක් නැහැ. මොන වරද වුනත් කිසිම බලපෑමක් නැහැ. මේ නිසාම සිත ගවේෂණය කිරීමට කවුරුත් බය නැහැ. වගකීමක් ගන්නෙත් නැහැ.ප්‍රශ්නෙ තියෙන්නෙ මේ තරම්ම සරලව තිබියදීත් මෙය නොකරන එකයි. දැන්වත් පටන් ගනිමුද?

සිත කොටුකර ගැනීම, සිත අල්ලා ගැනීම, සිත හඳුනා ගැනීම ආදී වශයෙන් විවිධ වචන භාවිතා කරමින් අප කළයුතු එකම කාරිය පිළිබඳ පිරිසිදු අදහසක් මතුකර ගැනීම මේ කෙටි සටහනේ පරමාර්ථයයි. “එසේ කොටුකර ගත් සිත” දිගටම රඳවා ගැනීම සහ එම කාරියේදී අපට ජයගත යුතු සම්බාධක රාශියක් ගැන ඉදිරියේදී විමසා බලමු.

සතිය හා සතිපට්ඨානය

Share this: