සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජනපති ඉන්දීය නිල සංචාරයට පිටත්ව යයි

සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජනපති ඉන්දීය නිල සංචාරයට පිටත්ව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ සාමාන්‍ය මගී ගුවන් පර්යන්තයෙන් ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ අයුරු.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ප‍්‍රථම විදේශ නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (28 දා දහවල් කටුනායක ගුවන් තොටුුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

පස්වරු 1.00 ට පමණ සාමාන්‍ය මගීන් පිටත්ව යෑම සඳහා පැමිණෙන පිටත්වීමේ මගී පර්යන්තයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසි ජනාධිපතිවරයා සාමාන්‍ය මගීන් සමග ගුවන් තොටුපළ රේගු සහ ආගමන විගමන කටයුතු නිමවා, සාමාන්‍ය මගී පිවිසුම ඔස්සේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය වෙත ඇතුළු විය.

රාජ්‍ය නායකයන් විදේශගත වීමේදී කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිත කළද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා සාමාන්‍ය මගී පිවිසුම භාවිත කිරීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංචාරය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු සහභාගි වී සිටිති.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේ නිරත වන අතර සිය දෙදින රාජ්‍ය සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු සමග මෙන්ම ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.

Share this: