නේපාලයේ පැවති සාග් ක්‍රීඩා උලෙළට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 13 වන සාග් ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් 01 වැනි සිට දි 10 වැනි දින දක්වා පැවැත්විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 783 කු සහභාගී වූ අතර , ඔවුහු රන් පදක්කම් 40 ක් , රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් දිනා ගැනීමට සමත් වූහ.
ඊයේ(11) රාත්‍රියේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4182 දරන විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 288 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත කැඳවා ගෙනවිත් තිබුණි.
ඔවුන් අතර කබඩි , මල්ලවපොර , පාපන්දු , අත් පන්දු , වෙඩි තැබීම , බොක්සිං වැනි තරග සඳහා සහභාගී වූ ක්‍රීඩක පිරිසක් සිටියහ.
මේ අතර මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක පිරිස දිරිමත් කිරීම සදහා නේපාලය වෙත ගොස් සිටි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පැමිණියේය.
” මේක ඉතිහාසයේ අභිමානවත් අවස්ථාවක්. තවදුරටත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි ජයග්‍රහණ සඳහා අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා” යැයිද පැවසීය.
මෙම ක්‍රීඩක පිරිස අතර, නේපාලයේ දී රෝගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් රෝද පුටු වල ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායම භාරව එහි ගොස් සිටි වෛද්‍ය නිලධාරී ධම්මික සේනානායක මහතා ද මෙම ක්‍රීඩක පිරිස සමග පැමිණි අතර , එහිදී මෙම රෝගී වූවන් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“අපි නේපාලයට ගියේ නොවැම්බර් 29 දිනයි. නමුත් දෙසැම්බර් මුල් දින ඉදලම රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තා. ඒ අතර ඩෙංගු රෝගීන් 06 ක් සහ වෙනත් රෝගීන් 03 ක් සිටියා. අපි ඔවුන්ව අපගේ අධීක්ෂණය යටතේ නේපාලයේ පෞද්ගලික රෝහල් වලට ඇතුළු කරලා වෛද්‍ය පහසුකම් ලබා දුන්නා . ටොරිංටන් සහ සුගතදාස ක්‍රීඩා පරිශ්‍ර වල දී , මෙම ක්‍රීඩකයන්ට ඩෙංගු රෝග කාරක ඇතුළු වෙන්න ඇතැයි අපි සැක කරනවා . තවත් එක් ක්‍රීඩිකාවක් මේ වනවිටත් නේපාලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වෙනවා . ඇය වෙනුවෙන් වෛද්‍යවරයෙකු සහ ක්‍රීඩා නිලධාරීන් පිරිසක් ද එරට රැදී සිටිනවා ” යැයි ද පැවසීය.
මෙම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඩී.රුවන් චන්ද්‍ර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියවරු, නෑදෑහිතවත්හු, ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීහු පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.