සන්ධාන නායකයින් අද මහින්ද දේශප්‍රිය මහතා හමුවට

සන්ධාන නායකයින් අද මහින්ද දේශප්‍රිය මහතා හමුවට

අද(16) පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට තීරණය කර තිබේ.

සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි.

තවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුනු අතර, එහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මෙන්ම සන්ධානයේ පක්ෂ වලට ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙහිදී සන්ධානයේ පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත්තේ, රජය විසින් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිසිවරයා දැනුවත් කළ යුතු බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද, මධ්‍යම කාරක සභා නියෝජිතයින් ඔහුගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඒ පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් මෙවනතෙක් ජනාධීපතිවරයා දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු අවධාරණය කළේය.

Share this: