සති කිහිපයේ මන්ත්‍රිට මිලියන 12ක තීරු බදු රහිත වාහනයක්

සති කිහිපයේ මන්ත්‍රිට මිලියන 12ක තීරු බදු රහිත වාහනයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රියට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ සමන් රත්නප්‍රිය මන්ත්‍රිවරයාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි. ඒ අනුව ඔහුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000ක් (රුපියල් එක් කෝටි විසිලක්ෂයක්) වනවා.

සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

නවක මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වූ සමන් රත්නප්‍රිය ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයකම ප්‍රධානියා වනවා.

Share this: