ෂවේන්ද්‍ර යුද හමුදාපති කිරීමට ගත් තීරණය අගයනවා

ෂවේන්ද්‍ර යුද හමුදාපති කිරීමට ගත් තීරණය අගයනවා

යුද හමුදාපති ධූරයට ෂවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති. ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවකු ලෙස ෂවේන්ද්‍ර සිල්වා මහතාව ජනතාව හඳුනාගෙන සිටිනවා. විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල වෙද්දී ඒවා නොතකමින් ඒ මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීම යහපත් තීරණයක් බව උන්වහන්සේ දෙනම ප්‍රකාශ කරති. නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කළ යුතුව තිබෙන බව මෙහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ කීහ.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් අදහස් දක්වමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ රණවිරුවකු ලෙස ප්‍රකට ෂවේන්ද්‍ර සිල්වා මහතාට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ශක්තිය ඇතැයි පැවසූහ.

යුද හමුදාපති ධූරය ෂවේන්ද්‍ර සිල්වා මහතාට පිිරි නැමීමට ජනපති ගත් තීරණය සම්බන්ධව රටම සතුටුවූ බවද උන්වහන්සේ කීහ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ මෙම පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව,කොටි ඩයස්පෝරාව හා උතුරේ දෙමළ දේශපාලනඥයින් සුළු පිරිසක් අකමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් ජනපති ඒ කිසිවක් ගණන් නොගෙන විය යුතු දේ කර තිබෙන බව කීහ.

ඇමරිකාව අපට ණය ලබා දුන්නට රටක් ලෙස අප ඔවුන්ට ණය ගැති නොවිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද නාහිමියෝ අනුශාසනාවක් කරමින් යුද හමුදාපති ධූරයට සුදුසු අයකු පත් කිරීම රාජ්‍යය නායකයා ලෙස ජනපතිවරයාට හිමිවන ස්වාධීන අයිතියක් බවත් ජනපති කිසිවකුගේ බලපෑමට යටත් නොවී එම අයිතිය පාවිච්චි කර තිබෙන බවත් කීහ.

Share this: