අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිසන් සභාව ගත් එම තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කළේ බැඩබලන පොලිස්පතිවරයාගේ ද නිර්දේශ අනුව බව පොලිස් කොමිසන් සභාව කියයි. අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.