ශ්‍රේෂ්ඨාධිකරණයට තිස්ස අත්තනායකගෙන් පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණයට තිස්ස අත්තනායකගෙන් පෙත්සමක්

UNP පක්ෂ තම පක්ෂය බවත්, එම පක්ෂයේ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ එහි බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ(06) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙළේය.

තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීම නිසා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමෙන් හෝ එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වළක්වන නියෝගයක් ද නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට ඇතේ, එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා, මහ‍ලේකම් කබීර් හෂීම් මහතා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා ය.

තමන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් ජනාධිපතිවරණයට තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එම තනතුරින් 2014.12.08 දින ඉවත් වූ බව ද සිය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් නොවූ බවද පෙත්සම්කරු පවසයි.

පසුව දෙසැම්බර් මස 11වැනිදා සෞඛ්‍ය ඇමැති ලෙස පත් වූ බව ද තමා සහාය දුන් අපේක්ෂකයා පරාද වීම නිසා එම තනතුරු අහෝසි වූ බව ද පෙත්සම්කරු කියයි. පසුව ව්‍යාජ ලියවිල්ලක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඉකුත් පෙබරවාරි මස 02දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් වූ තමන් එකොළොස් වැනිදා ඇප මත මුදාහල බව ද පෙත්සම්කරු කියයි.

නිසි ලෙස කරුණු දැක්වීමට අවස්ථාව නොදී තමන් පක්ෂයෙන් ඉවත් කිරීම නීති විරෝධී සහ අසාධාරණ බව පෙත්සම්කරු පවසයි. එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් පෙබරවාරි මස 08 දින නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share this: