ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්

ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමඟ තමාද සංවේගයෙන් යුතුව එක්වන්නේ ඔහුගේ කලා කෘති රසවිඳි අතීත මතකය ද සමගින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවනෙහි සිය නිසග කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී ලාංකේය වේදිකාව රංගනයෙන් හා නිර්මාණ ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ අග්‍රගණ්‍ය නාට්‍යකරුවෙකු බව අවිවාදිතය. ඔහු සාම්ප්‍රදායික නාට්‍ය කලාව හදාරා ඒ තුළින් නව මානයන් සොයා කළ නව නිර්මාණ අපේ රඟමඩලට නව අගයක් එක් කළේය.

ඒ නිසාම ඔහුගේ නිර්මාණ වටා විශාල රසික පිරිසක් රොද බැඳගත්හ. ශ්‍රී ලාංකේය වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාම ලේඛනයට ජයලත් මනෝරත්න නාමය ද එක් වී ඇත.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නාට්‍ය කලාව දිග්විජය කළ ජයලත් මනෝරත්නයන් තුළ වූ ගැඹුරු හැදෑරීම තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දේශීය කලාව ‍පෝෂණය කළේය.

සිනමාව, රූපවාහිනිය, ගේය පද රචනය, තිර පිටපත් රචනය, සාහිත්‍ය විචාරය ආදී වූ බොහෝ තැන් ඒ අතර වෙයි. විශේෂත්වය වන්නේ ඒ සෑම අංශයකින්ම ඔහු යහපත් සමාජයක් ප්‍රාර්ථනා කිරීමය.

මනෝරත්නයන් ගැමි පරිසරයෙන් ලැබූ අත්දැකීම් සහ අත්නොහළ ගැමිකම ද ඊට පාදක වන්නට ඇතැයි මම විශ්වාස කරමි.

ජයලත් මනෝරත්නයන් සිය විෂය පරාසය තුළින් අපේක්ෂා කළ උත්තර සාරධර්ම සුරැකෙන සමාජයක් සේම ආදරණීය පුරවැසියකු ගොඩනැගීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මොහොතේ ඔහුගේ අභාවය සාහිත්‍ය මෙන්ම සමාජයීය වශයෙන් ද බලවත් පාඩුවක් බව මාගේ හැඟීමයි.

ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ ජයන්ති, ආදරණීය පුතණුවන් භානුක සහ උත්පලා දියණිය ඇතුළු පවුලේ ඥාතීන්ටත්, ඔහුගේ රසික සහෘදයන්ටත් මාගේ බලවත් සංවේගය පළ කර සිටිමි.

ජයලත් මනෝරත්න ප්‍රවීණ කලාකරුවාට අජරාමර නිවන් සුව පතමි.

Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>