අද අප සමග සංවාදයට එක් වන්නේ ශ්‍රී ලංකා යතුරුපැදි ඉතිහාසයේ මෙතෙක් බිහි වූ අද්විතීයම ධාවකයා ලෙස විරුධාවලිය ලත් වසර 2003 සිට මෙ වනතෙක් ධාවන කිරුල නොකඩවා දිනාගත් ශ්‍රී ලංකවේ ලාබාලම යතුරුපැදි ශූරයා ගයාන් සදරුවන්…
ඔබ යතුරු පැදි ධාවන තරඟ වලට යොමු වන්නේ කොහොමද?
මුලින් ම දෙමාපියන් ඉඩ දුන්නේ නෑ.නමුත් මගේ මාමලා , බාප්පලා මේ ක්ෂේස්ත්‍රයේ රැඳී සිටි අය.පොඩි කාලේ ඉඳලම බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි මේ ක්ෂේස්ත්‍රයට එන බව.සාමාන්‍ය පෙළ ඉවර වෙනකං තාත්තා මට අවසර දුන්නේ නෑ.විභාගය සමත් උනාට පස්සේ මට යතුරු පැදියක් අරන් දුන්නා පුහුණු වීම් කටයුතු කරන්න.ඊට පසුව තමයි ක්ෂේස්ත්‍රයට පිවිසුනේ.
අප කවුරුත් දන්නා පරිදි මෝටර් ධාවන තරඟ කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන අයට කළ හැකි ක්‍රීඩාවක්. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
ඇත්තටම මෝටර් රථ ධාවන තරඟ වලට එනවා කියන්නේ හොඳ ආර්ථික පසුබිමක් තියෙන්න ඕන.ඒ වගේම තරමක් වියදම් අධික ක්‍රීඩාවක්. යතුරු පැදි නඩත්තුව ආදියට වියදමක් දරන්න ඕන.
ආධුනිකයෙක් විදියට ඔබ මේ ක්ෂේස්ත්‍රයට පිවිසෙන කාලයේ දී ඒ වන විට ක්ෂේස්ත්‍රයේ සිටි අයගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
මම එද්දි ප්‍රවීන ක්‍රීඩකයන් ගොඩක් හිටියා.විශේෂයක් විදියට මට උදව් කළ ක්‍රීඩකයන් හිටියේ නෑ. මගේ තාත්තා තමයි මට අවශ්‍ය මූලික දේවල සපයලා දුන්නේ. මං තනියම පුහුණුවීම් කරලා , මගේ අත්දැකීම් තුළින් ගොඩනඟා ගත්ත මට ආවේනික ශෛලියකින් තමයි පුහුණු වීම් කළේ.
යතුරු පැදි තරඟ වලට පිවිසුනු විට දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොයි වගේද?
බාධාවක් තිබුනේ නැහැ. මගේ හැම දෙයක්ම පිටුපස හිටියේ තාත්තා. මුලදී අම්මගෙ පොඩි අකමැත්තක් තිබුණා මට අනතුරක් සිදුවෙයි කියලා. නමුත් මම මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ අනිත් ක්‍රීඩකයන් වගේ නෙවෙයි.මේ සම්බන්ධව හොඳට අධ්‍යනය කරලා ආරක්ෂාව සම්බන්ධව සැළකිලිමත් වෙලා , නීති රීති වලට අනුව හොඳ ප්‍රමිතියකින් යුතුව ක්‍රීඩා කරන නිසා පසුව අම්මටත් ආරක්ෂාව සම්බන්ධව සැකයක් තිබුනේ නෑ.
මෙම ක්‍රීඩාව තරමක් භයානකයි. ඔබ තරඟ කරුවෙක් හැටියට ධාවන පථයේ තරඟ වදින විට ඉහත කාරනා සම්බන්ධයෙන් සැලකිලි මත් වනවාද?
මං හිතන්නේ මේ ක්‍රීඩාවේ යෙදෙන හැම ක්‍රීඩකයෙක් ම ගොඩක් හොඳ මානසික මට්ටමකින් තරඟ වදින්නේ. හැම කෙනෙක් තුළම මානසික ඒකාග්‍රතාවයක් , මනා අවබෝධයක් තිබිය යුතුයි.මම ක්‍රීඩා කරද්දි ත්‍රාසයක් දැනෙන්නේ නෑ.තරඟ වලදී අනතුරු වැරදීම් සිදුවෙන්න පුළුවන්. නමුත් මට මං ගැන සහ යතුරු පැදිය ගැන හොඳ විශ්වාසයක් තියනවා.මං වගේම අනිත් ක්‍රීඩකයොත් හොඳ ආත්මවිශ්වාසයකින් තරඟ වදිනවා.
මේ වන විට දේශීය මෝටර් රථ තරඟවල තත්වය අන්තර්ජාතික තරඟ සමඟ සසඳන කළ තිබෙන්නේ කොහොමද?
අන්තර්ජාතික තරඟ එක්ක බලදිදී ලංකාව ඉන්නේ ටිකක් පහල මට්ටමක.ජාත්‍යන්තර තරඟකරුවන් එක්ක බලද්දී ලංකාවෙ ක්‍රීඩකයන් තරඟ වදින්නේ ගොඩක් වෙනස් විදියට.ඒකෙන් අදහස් කලේ ජාත්‍යන්තර තරඟ කරුවන් වෘත්තීය යතුරු පැදි ධාවකයන්.ඕවුන් ඒ වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන්නේ.ඔවුන් පසුපස සිටින අනුග්‍රාහකයින් , මුදල් ආයෝජකයින් ,නීති රීති සම්පාදකයින් , ක්‍රීඩා සංගම් , තාක්ෂණය ආදී සම්පත් ඒ සඳහා විශේෂයෙන් කැපවී සිටිනවා.ඇති තරම් සම්පත් ඔවුන් සතුව තියනවා. ලංකාවත් මේ තත්වයට ලඟා වෙමින් පවතිනවා.ලංකාවෙත් අන්තර්ජාතික ජයග්‍රහණ ලබන ක්‍රීඩකයන් ඉන්නවා. විශේෂයෙන් ඩිලන්ත මාලගමුව වැනි ක්‍රීඩකයින් අගය කළ යුතුයි. ඒ වගේම අපේ ක්‍රීඩකයින් ආසියානු තරඟ වලට සහභාගී වෙමින් ඒ අත්දැකීම් ලබන අවධියක අපි ඉන්නේ.නොදියුනු මට්ටමක නෙවෙයි.
අප දන්නා පරිදි දේශීය මෝටර් රථ හා යතුරු පැදි සංගම් එකිනෙකට පරස්පර මත දරනවා. ඒ වගේම මිනිසුන්ගේ එකමුතු බව හරිම අඩුයි. මේ දෙයත් ලංකාවේ මෙම තරඟ ඉහළ නැංවීමට බාධාවක් කියලා මම කිව්වොත් ඒ ගැන ඔබගේ මතය කොයි වගේ ද?
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ලංකාවෙත් නොයෙක් ක්‍රීඩා සංගම් තියනවා.මේ සංගම් එකමුතු වෙනවා නම් මීට වඩා දියුණු තත්වයකට එන්න පුළුවන්. මේවා අතරින් SLADAR සංවිධානය තමයි ඉහළින්ම තරඟ සංවිධානය කරන්නේ.මේ සංවිධානය තමයි ලංකාවේ එකම ශූරතාවලිය සංවිධානය කරන්නේ.ලංකාවේ ක්‍රීඩාව ඉහලට ගන්න මේ සංවිධානය ගොඩක් කැප වෙනවා.
පහුගිය වකවානුව තුළ ඔබ එක දිගට ශූරතා දිනා ගත්තා. වසර කිහිපයක්ම. මෙයින් කියවෙන්නේ ඔබට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයෙක් නැති බවද?
ගොඩක් දක්ෂ ක්‍රීඩකයින් හිටියා. දැන් නම් මට තරඟයක් නැති තරම්. නමුත් තව අවුරුදු කිහිපයකින් දක්ෂ ක්‍රීඩකයන් බිහිවෙයි. ඒ කාලයට මට හොඳ තරඟයක් දෙන්න වෙයි කියලා මං හිතනවා.
එසේ වීම නිසා ඔබට ඔබගේ උපරිම දක්ෂතා අතරට ඒමට ඉඩ කඩ ඇහිරෙනවා නේද?
ඔව්. මා සමඟ තරඟයක් ලබා දීමට නොහැකි ක්‍රීඩකයෙක් නොසිටීම අඩුපාඩුවක්. ඒ සම්බන්ධව මේ දින වල සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි මං ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලීන්ට යන්න උත්සාහ කරන්නේ.
ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීමට සහ එහි ජයග්‍රහන ලබා ගැනීමට හැකි මට්ටමක ඔබ ඉන්නවා කියලා ඔබ හිතනවාද?
ඔව් මම ඒ තත්වයේ ඉන්නවා කියලා හිතනවා.ඒ වගේම මම අන්තර්ජාතික තරඟ කරුවන්ගේ ධාවන ශෛලීන් ගැන දන්නවා.මම දකින ආකාරයට අන්තර්ජාතික තටඟ වලට පුහුණුවීම් කළ හැකි ආකාරයේ ධාවන පථ ලංකාවේ ඉදිවිය යුතුයි. මෙම අවස්ථාව නැති නිසා අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගැනීමේදී අපහසුතා ඇති වෙනවා.මං මේ සම්බන්ධව වගකින යුතු ආයතන සමඟ කතාබහ කරගෙන තිබෙනවා.මගේ අරමුණක් තියනවා මගේ මහන්සියෙන් හරි මේ වගේ ධාවන පථයක් හදන්න.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන්,ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ මෝටර් රථ සංගම් වලින් ආධාර උපකාර ලැබෙනවාද?
ඔව් එහෙම සහභාගී වෙන්න ගොඩක් සහයෝගය ලැබෙනවා. ඒ උනත් ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙන්න අවශ්‍ය පසුබිම තවම සැකසිලා නැහැ.තවම ඒ ගැන සාකච්ඡා කරනවා.
මේ වන විට නවක තරුණයින් මේ ක්‍රීඩාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සහ කැමැත්තෙන් සිටිනවා. ඒ අයට මොකක්ද ඔබ දෙන උපදේශය?
නවකයන්ට කියන්න ඕන මේ සම්බන්ධව හොඳට හදාරලා එන්න කියලා. දැන් බිහිවෙන ගොඩක් අයගේ මේ සම්බන්ධව නොදැනුවත් කම වැඩියි.ප්‍රවීනයන් සමඟ හෝ ක්‍රීඩා සංගම් එක්ක කතා බහ කරලා මේ සම්බන්ධව හදාරන්න පුළුවන්. මං හමුවට ආ ක්‍රීඩකයන් මේ සඳහා යොමු කරලා තියනවා. විශේෂයෙන් මේ ක්‍රීඩාවට යොමු වෙන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙන්න ඕන.මේ ක්ෂේස්ත්‍රයේ රැදීලා ඉන්න නම් නම් ආරක්ෂාව , නීති රීති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟ දියුණු කිරීම සඳහා ඔබ අනාගතයේදී මොන වගේ මැදිහත් වීමක් කිරීමට ද බලාපොරොත්තු වන්නේ?
දැන් තියන ලොකුම පරමාර්ථය තමයි පුහුණු කඳවුරක් ආරම්භ කිරීම. තරුණ පරපුර දිහා බලනකොට විශාල නවක ක්‍රීඩකයන් ප්‍රමාණයක් ඉන්නවා. තව අවුරුදු පහකින් හයකින් ලංකාවේ මේ ක්‍රීඩාව ගොඩක් ඉහල මට්ටමකම දියුණු වෙයි. අළුත් තාක්ෂණය ආදිය කියා දෙමින් ඔවුන් නිවැරදි මගට යොමු කිරීම තමයි මගේ අරමුණ. ඒ වගේම පුහුණු පාසලක් ආරම්භ කරලා ඔවුන් ජාත්‍යන්තර මට්ටමට පුහුණු කිරීම තමයි මගේ අරමුණ.
සාකච්ඡා කළේ :- ගාමිණී පතිරණගේ
ඡායාරූප : – සුරංග සම්පත්