ශ්‍රී ලංකාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදි විස්සයි20 තරගාවලියක් පරදී

ශ්‍රී ලංකාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදි විස්සයි20 තරගාවලියක් පරදී

ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරව පිතිහරඹයේ නිරතවූ නායක ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙවැනි කඩුල්ලට ලකුණු 117ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් ඊයේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ඔස්ට්‍රේලියාවට අත්කර දුන්හ. ඒ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ද ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු භූමියේ විස්සයි20 තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය.

ශ්‍රී ලංකා පිල ඕවර 19කදි ලකුණු 117කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වීමෙන් පසුව නායක වෝනර් සමග ඉනිම ආරම්භ කළ ආරොන් ෆින්ච් පළමු ඕවරයේදිම ලකුණු ලැබීමටත් පෙර දවාලීමට ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග සමත්වූවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් ලබා නොදුන් ඩේවිඩ් වෝනර් පන්දු 41කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 60ක් ද, ස්ටීව් ස්මිත් පන්දු 36කදී හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 53ක් ද රැස් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ ඉනිම නිමාවීමට තවත් ඕවර 7ක්ම ඉතිරිව තිබියදීය. වෝනර් ඊයේ රැස් කළේ සිය විස්සයි20 තරග දිවියේ 14 වැනි අර්ධ ශතකයයි. ඔහුට අනගි සහයක් දුන් ස්මිත් සිය 3 වැනි විස්සයි20 අර්ධ ශතකය රැස් කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ඉහළ සම්බන්ධතා ගොඩනැගීමට ඉඩක් ලබා නොදුන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලකුණු 117කට සීමා කළේ තවත් ඕවරයක් ඉතිරිව තිබියදීමය.

ශ්‍රී ලංකා පිලේ ඉනිමේ කේන් රිචඩ්සන් යැවූ පළමු ඕවරයේ අවසන් පන්දුවට දුන් උඩපන්දුව පොයින්ට් හී සිටි ස්ටීව් ස්මිත් අතින් ගිලිහී යාමෙන් කඩුල්ල බේරාගත් කුසල් මෙන්ඩිස්, බිලී ස්ටැන්ලේක් යැවූ දෙවැනි ඕවරයේදි අවාසනාවන්ත දුවද්දි දැවීයාමකට හසුවීවෙද්දි ශ්‍රී ලංකා පිල ලබා සිටියේ එක් ලකුණක් පමණි. අනතුරුව ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව ඉනිම ගොඩ නැගීමට දැඩි උත්සාහයක නිරතවූවත් සැටන්ලේක් මුළු ලකුණු සංඛ්‍යාව 29දි එම සම්බන්ධතාව බිඳ දමමින් ධනුෂ්කගේ කඩුල්ල බිඳ දැමුවේය. අවාසනාවකට ශ්‍රී ලංකා පිලේ හොඳම සම්බන්ධතාව වූයේ ද දෙවැනි කඩුල්ලේ එම ලකුණු 28ය.

අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් ජනිත් පන් දු 19කදි හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු 27 ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වූයේ ඉන් අනතුරුව පිටියට පැමිණි කිසිදු පිතිකරුවකුට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් බුරුලක් නොලැබුණු බැවිනි.

ඕවරයෙන් ඕවරයට කඩුලු බිඳ වැටෙද්දි ඊයේ තරගයට එක්වූ නිරෝෂන් දික්වැල්ලට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. පැට් කමින්ස් යැවූ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ඔහු දැවීයද්දී ශ්‍රී ලංකා ඉනිම දිස්වූයේ කඩුලු 4කට 65ක් ලෙසිනි. කුසල් ජනිත් සහ දසුන් ශානක දෙදෙනාම දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 75ක්ව තිබියදීය. මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 8කට 95ක්ව තිබියදි නායක ලසිත් මාලිංග සහ ලක්ෂාන් සඳකැන් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 සීමාවට තල්ලු කරගත්හ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදුවූ අතර පළමු තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු සහ කසුන් රාජිත වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන කැඳවා තිබිණි. ඔස්ට්‍රේලියානු පිලේ සිදුවූ එකම වෙනස්කම වූයේ සිය සොයුරාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් නිවාඩු ලැබූ මිචෙල් ස්ටාක් වෙනුවට බිලී ස්ටැන්ලේක් ඇතුළත් වීමය.

දෙපිල අතර තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය නොවැම්බර් 1දා මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි.

Share this: