ශ්‍රීලනිපයේ නිවටයෝ ඉන්නවා – මහාචාර්ය නලින්ද සිල්වා

ශ්‍රීලනිපයේ නිවටයෝ ඉන්නවා – මහාචාර්ය නලින්ද සිල්වා

මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසන්නේ, ශ්‍රී.ල.නි.පය තුළ නිවටයෝ සිටින බවත්, එම පක්ෂයේ රාජිත සේනාරත්න, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට විවාදයකට පැමිණෙන ලෙස තමා ආරාධනා කරන බවත්ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එසේම ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ, 19 වන ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කළ යුතු බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපතා සංශෝධනයක් බවත්ය.

තවද හෙතෙම අවධාරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ශ්‍රී.ල.නි.ප. නිල වශයෙන් දෙකඩ කළ යුතු බවත්, ඉන් අනතුරුව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි නිල නායකයා බවට පත් කළ යුතු බවත්ය.

එසේම ජනාධිපතිවරණ සමයේ ශ්‍රී.ල.නි.පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්ව ගියේ ඔහුට අගමැතිකම නොලැබුණු හේතුවෙන් බවත්, විධායක බල තල අඩුකර යුතු බව මේ වන විට ප්‍රකාශ කරනමින් සිටින බවත්, ඒ මහතා කියා සිටියේය.

තවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නින්දිත පුද්ගලයෙකු බවත්, බටහිරට අවශ්‍ය ආකාරයට වැඩ කළ වෙනත් පුද්ගලයෙකු මෙරටේ නොමැති බවත්, ඔහු අවධාරණය කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම පික්පොකට් ගැසූ අයෙකු බවත්, මෙරටේ තවමත් නීත්‍යාණුකූල අගමැති වන්නේ දී.මු. ජයරත්න මහතා බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

තවද අද දින 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරමින් පාගමන් යන ලද්දේ මෙරට සිටින සිංහල කොටි බවත්, මාදුළුවාවේ සෝභිත හිමි මේ වන විට සිංහල විරෝධි වී ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් එම අවස්ථාවේදී කියා සිටියේය.

එම මාධ්‍ය හමුව අමතමින් දේශප්‍රේමී භීක්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි සඳහන් කර සිටියේ අමාත්‍ය පඨලි චම්පික රණවක මහතා දේශද්‍රෝහියෙකු බවත්, බටහිර බලවේගවලට ඔහු ඉඩදෙමින් සිටින බවත්ය.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයකින් කිසිදු දිනක බලයට පැමිණීමට නොහැකි බවද නාලක හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share this: