වෙලේ සුදා හෙළි කළ අය ගැන විමර්ශණ අඛණ්ඩව

වෙලේ සුදා හෙළි කළ අය ගැන විමර්ශණ අඛණ්ඩව

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදා නැමැත්තාගෙන් කෙරුණු ප‍්‍රශ්ණ කිරීම්වලින් අනාවරණය වූ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා සහ හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයන් අඛණ්ඩව සිදුවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  ඊයේ (02) පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු පැවසුවේ විමර්ශන වලින් හෙළිවන තොරතුරු මත  හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ද මුදල් විශූද්ධිකරණ පනතින් ක‍්‍රියාත්මක වී දේපොල තහනම් කිරීමටද පියවර ගන්නා බවයි.

වෙලේ සුදාගේ මෙරට නියෝජිතයෙක් වන සුරාස් අහමඩ් නැමැත්තාවද අපරාධ පරීක්‍සණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන වෙලේ සුදාට අයත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඩිස්කවරි වර්ගයේ ජිප් රථයක්ද සොයාගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ ඒ මහතා පැවසුවේ මෙම පුද්ගලයා දෙහිවල රත්නකාර පෙදෙසේ පදිංචිකරුවෙක් බවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ගල්කිස්සේ යම් ස්ථානයක සැගවී සිටි ඔහු පෙබරවාරි 02 වෙනිදා එම ස්ථානයෙන් පළාගොස් සිටි බවත්  පෙරේදා 01 ඔහුව අත්අඩංගුවට ගන්නේ හබරණ මොරගස්වැව ප‍්‍රදේශයේ වාඩියකදී බව ද පැවසිය.

සුරාස් අහමඩ් නැමැති මෙම සැකරුට අයත් එලයිඞ් වර්ගයේ මෝටර් රථයක්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා වෙලේ සුදාගේ දේශිය නියෝජිතයා ලෙස කටයුතු කර ඇති බවත් වෙලේ සුදාගේ දේපොල භාරව ද සිට ඇත්තේ මොහු බව අනාවරණය වී ඇති බව ද ඔහු පැවසිය.

පන්නිපිටිය, කහතුඩුව, හෝකන්දර යන ප‍්‍රදේශවල ඇති වෙලේ සුදාට අයත් තවත් දේපොල සම්බන්ධයෙන් තොරතුරු රාශියක් ද විමර්ශන වලින් අනාවරණය වී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

උපුටා ගැනීම – ලංකාපුවත්

Share this: