වෙඩි තැබීමකින් 1ක් මරුට – 12ක් රෝහලේ – 3ට බරපතළයි

වෙඩි තැබීමකින් 1ක් මරුට – 12ක් රෝහලේ – 3ට බරපතළයි

කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටි, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට, වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන අන්දමට තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බවත්, ඔවුන්ට හදිසි ප්‍රතිකාර ආරම්භ කර ඇති බවය.

අද පෙරවරු 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, මේ ගැන කොටහේන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ වෙඩි වැදුණු 12 දෙනෙකු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකුම පිරිමි අය බවත්, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්ය.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සායික් සිත්ති නසීමා නැමැති 42 හැවිරිදි මාදම්පාපිටිය, කොටහේන, කොළඹ 15 ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකි.

Share this: