වෙළඳපොලෙහි සහල් මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බැවින් පාලන මිලක් නියම කර හෝ කඩිනමින් සහනයක් සලසන ලෙස පාරිභෝගික ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.
මේ දිනවල සහල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ගම්පහ ඇතුළු අවට ප්‍රදේශයන්හි සියලුම සහල් වර්ගවල කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ගොස් ඇති අතර නාඩු , සම්බා , සුදු කැකුළු , රතු තම්බපු නාඩු , සුදු කැකුළු සම්බා ඇතුළු සාමාන්‍ය සහල් වර්ග කිලෝවක් රුපියල් 100 -110 අතර මිලකින් පවතින ආකාරයක් දක්නට ඇත.
මේ වනවිට සහල් සදහා නිසි පාලන මිලක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බැවින් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පෙන්වා දෙන අතර සහල් ආනයනය කර හෝ මිල පහළ දැමීමට රජය පියවර ගත යුතුව ඇති බව පවසති.
එළැඹෙන උත්සව සමයේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේය රට තුළ අවශ්‍ය පරිදි වී තොග ඇති නමුත් මහා පරිමාණයේ වී මෝල් හිමියන් විසින් විශාල වශයෙන් වී තොග රැස්කරගෙන සිටිමින් මෙලෙස කෘත්‍රිමව සහල් මිල ඉහළ නංවා ඇති බවයි.
ඊයේ (5) දිනය වනවිට නාඩු සහල් කිලෝවක් නිපදවීමට රුපියල් 106 ක් වන මට්ටමකට පත්ව තිබූ බව පෙන්වා දුන් සභාපති රංජිත් මහතා, එළැඹෙන උත්සව සමයට පෙර සහල් සදහා පාලන මිලක් නියම කිරීමට හෝ සහල් ආනයනය කර වෙළඳපොලට නිකුත් කිරීමට රජය කඩිනමින් පියවර නොගතහොත් පවතින තත්ත්වය මත ඉදිරි දිනවලදී නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ක් පමණ මිලකට ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති බවද පැවසීය.