විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප‍්‍රමිතිය උසස් වන්නේ නම් දෙස් විදෙස් සිසුන් ආකර්ෂණය කරගත හැකියි – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප‍්‍රමිතිය උසස් වන්නේ නම් දෙස් විදෙස් සිසුන් ආකර්ෂණය කරගත හැකියි – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

රටේ සංවර්ධනයට බුද්ධි ගලනය වහා නැවතිය යුතුයි

– ඉහළ ප‍්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන්ද ආකර්ෂණය කරගත හැකි බවත් ඉන් උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඉකුත් 11 දා පැවැති ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2019 උපාධි ප‍්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසූ දෙදෙනකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරීහු 224 දෙනෙක් ඔවුහු අතර වෙති. ප‍්‍රථම උපාධිධාරීන් ගණන 1057 කි.

2019 වසරේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූවන්ට තිළිණ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය 1981 වසරේදී අංක 61 දරන පාර්ලිමේන්තු පනත මගින් උසස් දැනුමෙන් යුතු ති‍්‍රවිධ හමුදා නිලධාරීන් බිහිකිරීමේ අරමුණින් ඇරඹිණ. 2009 වර්ෂයේදී එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කළේය. වෛi පීඨය පිහිටුවීම, සාමාන්‍ය හා විදෙස් කැඩෙට් සිසුන් ඇතුළත් කර ගැනීම, පර්යේෂණ හා සංවර්ධන කි‍්‍රයාකාරකම් සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා හඳුන්වාදීම, දක්‍ෂිණ විශ්වවිද්‍යාලය සූරියවැව පිහිටුවීම මෙන්ම අති නවීන රෝහලක් ආරම්භ කිරීමද මෙම කාලයේදී සිදුකෙරිණි.

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශවත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශ‍්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. එය සෑමවිටම ආරක්‍ෂා කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය ලබාදිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රටේ අධ්‍යාපන පද්ධතියේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට අප තව බොහෝ දේ කළ යුතුය. වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය විභාග ඉලක්ක කරගත් එකකි. එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පටු වීමට හේතුවී ඇත. දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන විභාග ප‍්‍රතිඵල මත අනාගතය තීරණය කරනු ලැබේ. ඒ නිසා දෙමාපිය සහ සමාජ අසහනය වැඩිවී ඇත. දරුවන්ගේ ජීවිතයේ වඩා තීරණාත්මක අවධිවල පුද්ගල අභිවෘද්ධිය සඳහා වන අවස්ථා රැුසක් අහිමිව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ දරුවන්ට අධ්‍යාපනය තුළ අතරමංවීමට ඉඩදිය නොහැක. රජය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුය. විශ්වවිද්‍යාල සහ අනෙකුත් තෘතියික අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඉතා වැදගත්ය. රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය. එමෙන්ම විශ්වවිද්‍යාල වලින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා සිසුන් අපේක්‍ෂා කරන රැුකියා අවස්ථා ළඟා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණය කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා සඳහන් කළේය.

21 වන සියවස දැනුමේ සියවසයි. කෘතීම බුද්ධිය, දත්ත, රොබෝ තාක්‍ෂණය, අන්තර්ජාලය සහ ජෛව තාක්‍ෂණය, ස්වයංක‍්‍රීයකරණය වැනි තාක්‍ෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප‍්‍රතිනිර්මාණය කරනු ඇත. පර්වර්තනීය තාක්‍ෂණයන් විසින් ලබාදෙන අවස්ථා කල්තියාම හඳුනාගත යුතු බව ජනාධිපතිවරයා කීවේය.

තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. රට තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් තෘතියික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්්ධි ගලනය වළක්වා ගත හැකිවනවා සේම අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමින් රටින් පිටවීම අවම කර ගැනීමට උපකාරී වන බවත් වෘත්තීය අධ්‍යාපන ආයතනවල සහ කාර්මික විද්‍යාලවල ගුණාත්මකභාවය ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතියික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම්සහගතව කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සහාය වන ලෙසද ක්‍ෂේත‍්‍රයේ සියලූම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරු සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ කුලපති දයා සඳගිරි මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this: