විවේචන කරන්න, නමුත් අපහාස නොවන අයුරින් – අධිකරණ ඇමති

විවේචන කරන්න, නමුත් අපහාස නොවන අයුරින් – අධිකරණ ඇමති

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ, අධිකරණයෙන් ලබාදෙන ඕනෑම නියෝගයක් විවේචනය කිරීමේ හැකියාවක් පවතින බවද නමුත් අදාළ විවේචන අධිකරණයට අපහාස නොවන අයුරින් සිදු කිරීමට හැමදෙනාම වගබලා ගත යුතු බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමිනි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමකට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කිරීම නීති විරෝධී බව පවසමිනි. අදාළ පෙත්සම සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේදී කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉකුත්දා නියෝග කළේය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නියෝගය සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි‍යේය.

අධිකරණ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන්ගේ කුසලතා හා හැකියා සංවර්ධනය වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ අධිකරණ අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසිනි.

Share this: