“විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවට උනන්දුවක් තිබුණේ නෑ” ජනපති කියයි

“විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවට උනන්දුවක් තිබුණේ නෑ” ජනපති කියයි

තමන් ජනාධිපති ලෙස පත්වූ 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට මෙම වසරේ සැප්තැම්බර් 4 වැනිදා දක්වාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උත්සාහ කළ ද අගමැති ප‍්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එය කිරීමට කිසිදු අවශ්‍යතාවක් හෝ උනන්දුවක් නොතිබූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව කරුණු දක්වා ඇත.

නිරවි කරණය සහ සංවර්ධනය පිළිිබඳ සංසදයේ සම්බන්ධිකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා නිරවි කරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියකට පිළිතුරු යවමිනි.

සංසදයේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ජනපති ලිඛිතව සඳහන් කර ඇත්තේ 2015 ජනවාරි 8 වැනිදා සිට මේ දක්වාත් පොදු අපේක්ෂකයකු ලෙස තරග කළ අවස්ථාවේදී තමා ප‍්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව වුවද, දන්නා පරිදි එය ඉටු කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවද, එය අගමැති ප‍්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් කළ යුත්තක් බවයි.

එහෙත් ඒ ගැන ඔවුන්ට අවශ්‍යතාවක් හෝ උනන්දුවක් දැනෙන්නට නැතැයිද, ඊට හේතුව 2015 වසරේ සිටම ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇති අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද ජනාධිපතිවරයා සිය ලිපියෙන් කරුණු දක්වා තිබේ.

පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමට ව්‍යවස්ථානුකුල අයිතියක් තමාට නැති බවත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තමාට යොමු කළ ලිපියේ පිටපතක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද යොමු කිරීම සුදුසු බවත් හෙතෙම සිය ලිපියේ සඳහන් කර තිබේ.

Share this: