විදුලිබල මණ්ඩලය කෝටි 20,000ක ණය උගුලක

විදුලිබල මණ්ඩලය කෝටි 20,000ක ණය උගුලක

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසර අවසාන වන විට රුපියල් කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ දී පමණක් රුපියල් කෝටි 8500ක් පාඩුවක් ලබා ඇති බව පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 820ක් හා පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතනවලට රුපියල් කෝටි 4300ක මුදලක් ගෙවීමට ඇති බව කීවේය. ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතා ‍ඊයේ (20) ඇමැතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගත් අතර එහි දී ඇමැතිවරයා රැස්ව සිටි පිරිස අමතමින් එසේ කිවේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

සමස්තයක් ලෙස ගත් කළ රුපියල් කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.රජයේ ඉලක්කය මෙන්ම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමයි පරිසර දූෂණය අවම කරමින් හරිත බලශක්ති උත්පාදනයට යොමුවීම පසුගිය වසර 5 තුළ අකර්මන්‍ය කර තිබූ සූර්යබල ශක්ති ව්‍යාපෘති, සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද සහභාගි වූවාය.

Share this: