විකාරරූපී දේශපාලන නාඩගම්වලින් රට මුදාගත යුතුයි

විකාරරූපී දේශපාලන නාඩගම්වලින් රට මුදාගත යුතුයි

දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්ත්වයෙන් රට මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බවත් ජනාධිපතිවරණයේදී දේශපාලන ප‍්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 04 වැනිදා සඳහන් කළේය.

රටත්, ජනතාවත් හෙළා තිබෙන දේශපාලන ප‍්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප‍්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බවත් ඒ සඳහා ‘මාලිමාව’ ඉදිරියේ ඡුන්දය ලකුණු කිරීමෙන් වෙනසට මුලපුරන ලෙසත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 05 වැනිදා එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස් එජ් හී පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.

මේ රටේ අද තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්ත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. පහත් පිළිකුල් කළ යුතු දේශපාලන සංවාදය එම තත්ත්වයෙන් මුදාගත යුතුව තිබෙනවා. එය කළ හැකි වැදගත් ස්ථානයක් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරණයේදී දේශපාලන ප‍්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැඟීමයි. රටත්, ජනතාවත් හෙළා තිබෙන දේශපාලන ප‍්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප‍්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බව අපේ විශ්වාසයයි. මේ නිසා ජනතාවගෙන් බලය ලබාගෙන අප ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ අවස්ථාවේදී කරනවා.

අප ඉදිරිපත් කර තිබෙන්නේ ‘දේශයේ අපේක්ෂාව’ යනුවෙන් නම් කළ ශක්තිමත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්. දුප්පත් භාවයෙන් රටත්, ජනතාවත් මුදාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත්කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලූම මිනුම් දඬුවලින් මේ වනවිට අප පහත්ම අඩියට තත්ත්වයට වැටී තිබෙනවා. විශාල ණය කන්ද, විදේශ වෙළඳාමේ බරපතළ හිඟය, රුපියල කඩා වැටීම, රාජ්‍ය ආදායම හීනවීම වගේ හැම පැත්තකින්ම මේ බව තහවුරු වී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු 71 තුළ සමස්තයක් හැටියට රට දුප්පත්කමේ අන්ත ප‍්‍රපාතයට වැටී අවසන්. එක යුගයකදී ඉහළ සාධනීය තත්ත්වයන් පෙන්නූ දත්ත පවා අද පතුළටම වැටිලා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප‍්‍රතිපත්තියේ මූලික අරමුණයි. මේ වෙනකොට සමෘද්ධි සහනාධාරය ලබන දුප්පත් පවුල් ලක්ෂ 20 ක් සිටිනවා. මේ ජනතාවට තිබෙන මූලිකම ප‍්‍රශ්නය මුදල් නැතිකම විතරක් නොවෙයි. සමාජයෙන් කොන්වීම, ගෞරවය නැති වීම, සාධාරණ අයිතිවාසිකම් නොලැබීම වගේ තත්ත්වයන් රැුසකට මුහුණදී තිබෙනවා.

මේ නිසා මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමු කළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස් කර තිබෙනවා. ආබාධ සහිත වූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමු කර තිබෙනවා. උදාහරණයක් හැටියට අන්ධ කෙනෙකුට කියවා තේරුම්ගත හැකි පරිදි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම වාචිකව වෙබ් අඩවියෙන් ශ‍්‍රවණය කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත්වී සිටින තරුණ පරපුර එයින් මුදා ගැනීමේ මූලික අවධානය අපේ ප‍්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමුන් සම්බන්ධයෙන් ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදා ගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදුකරනවා.

ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය වගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව තමන්ගේ පොකට් එකේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා. අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම වඩාත් හොඳ බවට ජනතාව තර්ක කරන තත්ත්වයකට පත්වෙලා. මේ තත්ත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්ත්වයට අපි පත්කරනවා.

රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක‍්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක‍්‍රියාවලියක කොටසක්. ඒ අධිකරණ ක‍්‍රියාවලිය අකාර්යක්ෂම, අලස, ඇල්මැරුණු තත්ත්වයකට පත්වෙලා. මෙහි සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි. ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැඟීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත‍්‍රයක් උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහිකළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනැඟීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ක‍්‍රියාත්මක කරමින් සිටියා. ජාතික ජන බලවේගයට බලය ලබාගත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇති කරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක‍්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡුන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අවධානය යොමු කර තිබෙනවා. 1978 හඳුන්වාදුන් මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර, දැන් විකෘති තත්ත්වයක තිබෙන්නේ. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයෙන් ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් ශක්තිමත් වුණා වගේම යම් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වීමත් සිදු වී තිබෙනවා. 19 වැනි සංශෝධනය සම්මත කරගත්තේ සංක‍්‍රාන්තික කාලයකට. දැන් එතැනින් ඔබ්බට යන්න අලූත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වඩාත් ප‍්‍රබලව දැනී තිබෙනවා. අප යෝජනා කරන අලූත් ව්‍යවස්ථාවක් සම්බන්ධ මූලික පදනම පොදු ජනතාව භාෂා, ආගම්, ග‍්‍රාමීය, නාගරික කිසිදු භේදයකින් තොරව පාලනයේ සම හවුල්කරුවන් බවට පත් කර ගැනීමයි. අද සිද්ධ වෙන්නේ ජනතාව ඡුන්දය පාවිච්චි කිරීමේදී පාලනයේ ක‍්‍රියාකාරිකයෙක් බවට එක මොහොතක පත්වීම විතරයි. අපේ ව්‍යවස්ථාවක් යටතේ ජනතාව පාලනයේ සම පංගුකරුවකු බවට අඛණ්ඩව පත්කර ගන්නවා. උදාහරණයක් හැටියට යම් ප‍්‍රදේශයක නිශ්චිතව විසඳා ගත යුතු ආර්ථික හෝ සමාජීය ගැටලූ පවතින අවස්ථාවක ඒ ගැන විශේෂ අවධානය යොමු කර ජනසභා ඒකක පිහිටුවා

ගැනීම දක්වන්න පුළුවන්.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අපේ ප‍්‍රතිපත්තිය ඔවුන් වෙත සමාජ යුක්තිය ක‍්‍රියාත්මක කරමින් නිදහස් කළ යුතු බවයි. මෙතන නීතිමය තත්ත්වයකට වඩා විශේෂ තත්ත්වයක් තිබෙනවා. උදාහරණයක් හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රබලම සාධක තුන වූ අවි ආයුධ, මුදල්, ජාත්‍යන්තර සම්බන්ධතා කියන කරුණු තුනම සම්පූර්ණ කළ කුමරන් පද්මනාදන් කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර නිදහසේ ඉන්නවා. නමුත් එල්.ටී.ටී.ඊ. හැඳුනුම්පතක් ළඟ තිබූ තරුණයෙක් අත්අඩංගුවට අරගෙන ඒ හැඳුනුම්පතට අත්සන් කළ දයා මාස්ටර් එළියේ නිදහසේ ඉන්නවා. මේ වගේ තත්ත්වයක් යටතේ සමාජ යුක්තියේ පදනම ඔවුන් සියලූ දෙනා නිදහස් කළ යුතුයි. ඒ වගේම, යම් පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා ඔවුන්ට අධිකරණයකින් උපරිම දඬුවම් නියම කළත්, අවුරුදු 07ක් සිරදඬුවම් ලැබීමට යටත් විය හැකි අය. නමුත් මේ වනවිට අවුරුදු 20 ක් රිමාන්ඞ් භාරයේ තබා තිබෙනවා. මෙවැනි තත්ත්වයන් නිවැරදි කළ යුතුයි.

අද ඇමැතිවරුන් පත් කරන්නේ එක් එක් පුද්ගලයන් සතුටු කරන්න දෙන අල්ලසක් විදිහට. මන්ත‍්‍රීවරයා රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමැතිකමක් දෙනවා. නැත්නම් රාජ්‍ය ඇමැතිකමක් දෙනවා. රාජ්‍ය ඇමති රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමැතිකමක් දෙනවා. නියෝජ්‍ය ඇමැති රණ්ඩු කළාම කැබිනට් ඇමැතිකමක් දෙනවා. මේ වගේ එකිනෙකා සතුටු කිරීමේ කැබිනට් මණ්ඩලයකින් රට ගොඩනඟන්න බැහැ. අපි ඇමැති මණ්ඩලය පත්කරන්නේ විද්‍යාත්මක, සංයුක්ත විෂය පථයන් අනුවයි. උපරිම ඇමති ධුර 25 යි. රට ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් කැපවුණු පුද්ගලයන් ඒ අමාත්‍යාංශවලට පත්කරනවා. අනික් හැමෝටම වඩා මේ සඳහා සුදුසුම කණ්ඩායම ජාතික ජන බලවේගය වටා එකතු වී ඉන්නවා. ඒ නිසා දේශයේ අපේක්ෂාව ප‍්‍රතිපත්ති සමාජගත කර එය බලයක් බවට පත් කර රට ගොඩනැඟීමට සියලූ දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

Share this: