විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. – පුබුදු ජයගොඩ

විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. – පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ රටේ පවතින්නේ ලංකාවේ ජනතාව සූරා කන්නාවූ බහුජාතික සමාගම් වලට ඉඩ හදන ආර්ථික ප‍්‍රතිපත්තියක් හා පරිසරය විනාශ කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

“දැන් මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරද්දී එක්සත් ජාතික පක්ෂයයි ඒකත් එක්ක එකතුවෙච්චි අනෙක් පක්ෂයි කිසිම ප‍්‍රතිපත්තියක් කතා කළේ නෑ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ගෙනාව ‘මහින්ද සමග නැගිටිමු’ කියලා සටන් පාඨයක්. එක්සත් ජාතික පක්ෂය ගෙනාව ‘මහින්ද ගෙදර යවමු’ කියලා සංවාදයක්.ඔය සටන්පාඨ දෙක ඇතුළෙ තමයි ලංකාවේ දේශපාලනය හසුවරවන්න පටන්ගත්තේ කිසි කෙනෙක් ප‍්‍රතිපත්ති ගැන නොකියා තමයි හිටියේ.

දැන් ඔන්න හැමදෙනාම එකපාරටම ප‍්‍රතිපත්ති ගැන කියන්න පටන් අරගෙන තියෙනවා. මහින්ද මහත්තයා එයාගෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එළියට දාල තියෙනවා, එක්සත් ජාතික පක්ෂය පංචවිධ ප‍්‍රතිපත්තිය කියල එකක් එළියට දාන්න ඉන්නවා. අනෙක් පක්ෂත් ඒ විධියට කියනවා දැන් ප‍්‍රශ්නෙ තියෙන්නේ මේ ප‍්‍රතිපත්ති මොනවද. එක්සත් ජාතික පක්ෂය කියන ප‍්‍රතිපත්ති වල දල අදහසක් පහුගිය 18 වෙනිදා අනුරාධපුර නොච්චියාගම තිබ්බ රැස්වීමකදී කියලා තිබුණා. එයා කිව්වේ ලංකාවේ පාලන බලය අවුරුදු 10 හොබවලාත් රාජපක්ෂවරු ජනතාවට පණ දුන්නේ නෑ කියලා.

ඉතින් ජනාතාවට පණදෙන්න වැඩපිළිවෙලක් ගෙනල්ලා තියෙනවා. මේ වැඩපිළිවෙල මොකක්ද කියලා බැලූවම ඒකෙ තියෙන්නේ මීට අවුරුදු හතරකට කලින් 2011 දී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත්කරපු ජාතික භෞතික සැලැස්මමයි තියෙන්නේ, ඔබ පොකුරු ගම්මාන කතාව, දිවයින පුරා කාර්මික ගම්මාන ඇති කරන කතාව ජන ගහනය විසිරිලා තියෙන රටාව වෙනස් කරන කතාව ඒවාට මහා මාර්ග එකතු කරන කතාව මේ ඔය ඔක්කොම වෙන මොනවත් නෙවෙයි අර 2011 දී කියපු ජාතික භෞතික සැලැස්මම තමයි තියෙන්නේ.

ඒ ජාතික භෞතික සැලැස්ම මොකක්ද බැලූවොත් ඒක මීට අවුරුදු නවයකට විතර කලින් 2002 දි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගෙනාපු රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙල තමයි ඒ. ඉතින් එකම වැඩපිළිවෙල එක වෙලාවකට රිගේනින් ශ‍්‍රී ලංකා කියලා ආසියාවේ ආශ්චර්ය කියලා විවිධ නම් වලින් එනවා, මොන විධියකට ආවත් මේ තියෙන්නේ ලංකාවේ ජනතාව සූරා කන්න, බහුජාතික සමාගම් වලට ඉඩ හදන ආර්ථික ප‍්‍රතිපත්තියකුයි, පරිසරය විනාශ කරන ආර්ථික ප‍්‍රතිපත්තියකුයි. ඒ නිසා දැන් ඕන ඇත්තටම විකල්ප ආර්ථික වැඩපිළිවෙලක්, අපි පහුගිය ජනාධිපතිවරණයට එන වෙලාවේ මේ සඳහා වමේ පියවර නමින් වැඩපිළිවෙලක් ගෙනාව, ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා රැවටෙන්නේ නැතිව ඒකත් එක්ක එකතුවෙන්න කියලා.”

Share this: