වැලිකඩ බන්ධනාගාරයේ රැඳීවියන් බැලීමට අමුත්තන් පැමිණීම සඳහා ලබාදී තිබු අවසරය යලි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ, කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රැඳවීයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.
මෙම රැඳවියා රඳවා සිටි වැලිකඩ (I) වාට්ටුවේ සිටි 100 කට ආසන්න රැඳවියන් සහ ජුනි 26 වෙනිදා සිට එහි සේවය කළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
නඩු කටයුත්තක් සඳහා ඉකුත් ජුනි මස 26 වෙනිදා මෙම රැඳවියාව කන්ඳකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර ඒවා තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
එලෙස වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ එම රැඳවියා නඩු කටයුත්තකට සහභාගී කරවීමට පෙර PCR පරීක්ෂණයක් ඉකුත් සිකුරාදා සිදුකොට ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම රැඳවියාගේ තවත් PCR පරීක්ෂණ 02 ක් සිදුකොට ඇති බවත් එම වාර්තාවන්ට අනුව ඔහුට වෛරසය තහවුරුවී ඇති බවට සනාථ වූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.