Toque Macaque වඳුරන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට එරෙහිව පරිසර සංවිධාන ගොනු කළ පෙත්සම මැයි 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය 19 වැනිදා තීරණය කළේය.
අදාළ පෙත්සම 19 වැනිදා පෙරවරුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 26 වැනිදාට කල් තැබිණි.
ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය, ඔටාරා ගුණවර්ධන, පූජ්‍ය ධම්මරතන හිමියන් ඇතුළු පාර්ශව 27ක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසත් වඳුරන් අපනයනය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතද කඩකරමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් කිරීම සත්ව හිංසන ක්‍රියාවක් බවයි.