ලෝක ටෙස්ට් ශූරතාවලියට දෙපිලේ නායකයන්ගෙන් පැසසුම්

ලෝක ටෙස්ට් ශූරතාවලියට දෙපිලේ නායකයන්ගෙන් පැසසුම්

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙස පැවැත්වෙන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී සාර්ථක අයුරින් දස්කම් දැක්වීමට කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

ලෝක කුසලාන තරගමාලාවෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් තරගමාලාව නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඒ පිළිබඳ ඊයේ පස්වරුවේ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව සඳහන් කළේය.

නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දැක්වූ දස්කම් අතිවිශිෂ්ට බව කියා සිටි දිමුත් කරුණාරත්න නවසීලන්ත පිලට අභියෝගයක් ගෙන දීමට තම ක්‍රීඩකයන්ට හැකියාව ඇතැයි ද විශ්වාසය පළ කළේය.

‘ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරග මුහුණුවර ලෙසයි මා සළකන්නේ. ලොව පුරා නරඹන්නන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙමින් සිටින කාලයක මෙවැනි ශූරතාවලියක් ආරම්භ වීම ඉතා හොඳ දෙයක්. මේ ශූරතාවලිය නිසා ක්‍රීඩකයන්ගේ උනන්දුව වැඩිවෙනවා. ඒ වගේම තරගකාරීත්වයත් වැඩියි. දේශීය වශයෙන් මෙන්ම විදෙස් තරග බිමේදිත් අපිට ක්‍රීඩා කරන්න සිදුවෙනවා. අවුරුදු 2ක් තුළ හොඳම කණ්ඩායම තෝරා ගැනීම මෙමගින් සිදුවෙනවා.’ ඔහු කීවේය.

නවසීලන්තයට එරෙහි තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව සඳහා ක්‍රීඩකයන් 22 කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඊයේ නම් කරනු ලැබූ අතර හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද සංචිතයට ඇතුළත් කර තිබේ. මේ වසරේ මුල් භාගයේදි දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගමාලාවෙන් මෙන්ම ලෝක කුසලාන තරගමාලාවෙන් ද ඉවත් කර සිටි 29 හැවිරිදි චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයට එක්වූයේ මාස 6කට පසුවය. මේ වනවිට කැනඩාවේ ග්ලෝබල් විස්සයි20 ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින චන්දිමාල් ඉදිරියේදි සංචිතයට එක්වනු ඇත.

මීට අමතරව මෙතෙක් ටෙස්ට් වරම් නොලැබු තුන්ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමග වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු සංචිතයට ඇතුළත්වී සිටිති. දඟ පන්දු යවන අකිල ධනංජය සහ ඩිල්රුවන් පෙරේරාට ද සංචිතයේ ඉඩකඩ වෙන්වී තිබේ.

කලක් ආබාධයකට ලක්ව සිටි දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි ද, ඔහුට කොළඹ පැවැත්වෙන දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට හැකියාව ඇතැයි භෞතචිකිත්සකවරයා සඳහන් කළ බව ද දිමුත් කීවේය.

‘ඩිල්රුවන් අවදානමට දැමීමට අපට නොහැකියි. ඔහුට කොළඹ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිවුවහොත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව සඳහා ඔහුගේ දායකත්වය ලබාගත හැකිවේවි.’ ඔහු පැවැසීය.

හිටපු නායක දිනේෂ් චන්දිමාල් යළි සංචිතයට ඇතුළත්වීම සම්බන්ධව ද දිමුත් කරුණාරත්න අදහස් පළ කළේය.

‘අපි ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කරන්නේ පසුගිය පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියට පසුවයි. ඒ තරගාවලියේදී ආබාධයක් නිසා ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ නෑ. චන්දිමාල්ටත් ඒ තරගාවලිය අහිමිවුණා. දැන් මේ දෙදෙනාම සංචිතයට ඇතුළත්ව සිටිනවා. චන්දිමාල් කණ්ඩායමට එක්වන්නේ නම් ඒ කඩුලු රකින්නා ලෙසයි.’ දිමුත් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවීමෙන් පසුව නවසීලන්තයට එරෙහි ටෙස්ට් සහ විස්සයි20 තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පළමු වරට ටෙස්ට් තරගමාලාවකට සහභාගි වන නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා භූමියේ පැවැත්වෙන මේ තරගාවලියේදී සුපුරුදු දස්කම් දැක්වීමට තම ක්‍රීඩකයන් බලාපොරොත්තු සහගතව බලා සිටින බවය. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම නවසීලන්ත පිලේ නායකයාගේ ද දැඩි පැසසුමට ලක්විය. වසර දෙකක් අවසානයේ හොඳම කණ්ඩායම තෝරාගැනීමේ අවසන් මහා තරගයට එක්වීම තම අරමුණ බවත් ඔහු කීවේය.

ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත අවසන් සංචිතය ඉදිරියේදි නම් කෙරේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජෙලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් මාධ්‍ය හමුවෙන් අනතුරුව.

Share this: