‘ලෙංගතු කමින් දිගු කරන දෑත් අතහරින්නේ නැහැ‘ – හිටපු ජනපතිගෙන් පණිවුඩයක්

‘ලෙංගතු කමින් දිගු කරන දෑත් අතහරින්නේ නැහැ‘ – හිටපු ජනපතිගෙන් පණිවුඩයක්

ලෙංගතු කමින් දිගු කරන දෑත් අතහරින්නේ නැති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, නුගේගොඩ ඊයේ (18) පැවැති රැළියට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කර තිබුණි.

“මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද?“රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ්‍රෙය් දී ඊයේ (18) සවස 03.00ට ආරම්භ කෙරිණි.

එම රැළියේ දී හිටපු ජනාධිපතිවරයා විසින් එවන ලද ප්‍රකාශය ජනතාව හමුවේ තැබුවේ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ය.

හිටපු ජනපති රැලියට සහභාගී වූ ජනතාවට එවූ පණිවුඩය මෙසේය.

‘අද මෙතන නියෝජනය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මට ඡන්දය දුන් පනස්අටලක්ෂය පමණක් නොවන බවත් නොයෙක් හේතු මත හැට දෙලක්ෂයට එක්වූ අයගෙන් සැලකියයුතු පිරිසක්ද අද මෙතැන නියෝජනය කරන බවත් මා මුලින්ම ප‍්‍රකාශ කළ යුතුයි.  එක අරමුණකින් රැස්ව සිටින ඒ දෙපාර්ශ්වයේම තමුන්නාන්සේලා සියලූ දෙනාම මම ඉතා ආදරයෙන් ද ගෞරවයෙන්ද පිළිගනිමි.

රටේ ජනාධිපති ලෙස සිටියදී මා හමුවන්නට නොපැමිණි බොහෝ හිතහොඳ මිනිසුන් පසුගිය සති කිහිපයේදී දුර කතර ගෙවාගෙන මා බලන්නට පැමිණ තම හිතවත්කම ප‍්‍රකාශ කිරීම ජීවිතයේ මා ලද අලූත්ම ජයග‍්‍රහණය බව ඉතා නිහතමානීව ප‍්‍රකාශ කරන්නට මම මේ අවස්ථාව උපයෝගී කර ගන්නෙමි. ඒ හැම දෙනාම මට පැවසූ එක් පොදු කාරණයක් නම් අප මේ භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවයි.

 

ගෞරවනීය හාමුදුරුවන් වහන්ස, පූජකතුමනි,

පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම කිසිසේත් පසුබට නොවෙමි. මන්ද පරාජය මට නුහුරු දෙයක් නොවන බැවිනි. එසේම අවමානය ද මට නුහුරු දෙයක් නොවේ. සිරගෙය පවා මට නුහුරු දෙයක් නොවේ. මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදුවී ඇති බව ඔබ සියලූ දෙනාම දන්නා කරුණකි.

ඒ ආකාරයටම බොහෝ දෙනාට නුහුරු, බොහෝ දෙනා අත්විඳ නැති අභිමානනීය ජයග‍්‍රහණයන් ද මට නුහුරු දෙයක් නොවේ.  බොහෝ දෙනා පරාජයට හුරු වූවන් වුවත් සැබෑ අභිමානවත්, ගෞරවනීය ජයග‍්‍රහණයක හිමිකරුවකු විය හැක්කේ අවංක නායකයකුට පමණක් බව මගේ විශ්වාසයයි. මම ඒ අභිමානවත් ජයග‍්‍රහණ ද භුක්ති විඳීමේ අවස්ථාව ලද කෙනෙක් බව ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරමි.

2005දී මා ලැබූයේ අසීරු ජයග‍්‍රහණයකි. ඒ ජයග‍්‍රහණය මට ලබාදුන් රටටත් ජනතාවටත් මා ලබාදුන් ජයග‍්‍රහණය වූයේ 2009දී කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර රට මරණ බයෙන් නිදහස් කර ගැනීමයි. ඊට කළගුණ සලකමින් 2010දී  වැඩි ඡන්ද දහඅටලක්ෂයක ජයග‍්‍රහණයක් රටේ ජනතාව මට ලබාදුන් අතර ඒ වෙනුවෙන් මා රටට යළි ලබාදුන්නේ මහා පරිමාණ සංවර්ධන මාවතට රට යොමු කිරීමේ ජයග‍්‍රහණයයි. මේ සහයෝගී දම්වැල මේ ආකාරයෙන් ඉදිරියට යාම රටේ සතුරන්ට ඉවසා සිටිය නොහැකි වු බව පසුගියදා තහවුරු විය. ඒ අන්‍යොන්‍ය ජයග‍්‍රහණමාලාව ආපසු හරවන්නට රටේ සතුරන්ට උවමනා වී තිබිණි. ඒ අනුව කරන ලද කුමන්ත‍්‍රණය සාර්ථක විය. අප අද අත්විඳින්නේ රටට එරෙහිව සිදුකළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵල මිස පරාජයක් නොවන බව ඒ අනුව මමද පිළිගනිමි.

උපන්ගෙයිම ශ‍්‍රී ලංකාකාරයකු වන, අදටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවනීය සාමාජිකයකු වන මා ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද පරාජය නොවූ බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පරාජය නොවූ බවයි. පාර්ලිමේන්තුව තුළ අද පවතින සුළුතර ආණ්ඩුව සහ තුනෙන් දෙකේ විපක්ෂය දෙස බැලීමෙන් මා මේ කියන කාරණය තහවුරු වනු ඇත.

තමන් අභිමානවත් ජයග‍්‍රහණයක් ලබාගත්තායැයි හිතට එකගව හිස කෙලින් තබාගෙන ප‍්‍රකාශ කරන ලෙසට මම රටේ සතුරන්ට අභියෝග කරමි. කූඨ ගනුදෙනුවක ලාභ බෙදාගැනීම යනු ජයගහණයක් නොවන බව මම ඔවුනට අවධාරණය කරමි.

පරාජය නොවූ නමුත් බලය අහිමි වූ අප සැමගේ දේශපාලන යාත‍්‍රාව එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පමුඛ  එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එය හුදෙක් නායකයින්ගේ පමණක් දේශපාලන සන්ධානයක් නොවේ. එය මේ රටට ආදරය කරන පුළුල් මහජන ප‍්‍රවාහයක එකතුවයි. පරාජය නොවී බලය අහිමිවීමේ අප‍්‍රසන්න අත්දැකීමට මුහුණ දී සිටින ඒ ජනතා ප‍්‍රවාහයේ බලාපොරොත්තු නියෝජනය කරන්නටත් ඒ බලාපොරොත්තු අලූත් කරන්නටත් සන්ධානයේ පක්ෂ ගන්නා මේ උත්සාහයට මා සුබපතන්නේ සන්ධාන දේශපාලනය හරහා රටට ලබාදුන් ජයග‍්‍රහණවලටද යළි හිස නමා ගෞරව කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ මේ සන්ධානයේ බල මහිමයෙන් ලොව මවිත කළ ජයග‍්‍රහණ රටට ලබාදෙන්නට අපට හැකිවූ බව මට කිසිදා අමතක නොවේ. අපේ ජීවිත, අපේ සමීපතමයින්ගේ ජීවිත පමණක් නොව අපේ ඊළග පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් ඒ භයානක සටනට එළඹෙන්නට මා තීරණය කළේ සන්ධාන දේශපාලනයේ ශක්තිය පිළිබඳව මට තිබුණු විශ්වාසය නිසා බව මම පැහැදිලිව ප‍්‍රකාශ කරමි.

එසේම යළි එවන් ජයග‍්‍රහණ රටටත් ජනතාවටත් ලබාදිය හැක්කේ ද ඒ යහපත් අරමුණ සහිතව එකතුවන ජනතා සන්ධානයක ශක්තියෙන් බව මම විශ්වාස කරමි. ඒ ජයග‍්‍රාහී අරමුණ පෙරදැරිව අද නුගේගොඩට මේ එක් රොක්වී සිටින ජනතා පවුරේ දෑත් මම ඉතා තදින් වැළඳගන්නා බව බොහොම ගෞරවයෙන් යුක්තව ප‍්‍රකාශ කරමි. රට ගැන හිතන, රට වෙනුවෙන් කැපවෙන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසළකා සිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන සහ නායක බලවේග මේ දිගුකරන සහෝදරත්වයේ දෑත් ගෞරවයෙන් ද සහෝදරත්වයෙන් ද සුපුරුදු ලෙන්ගතුකමින් ද වැළඳගන්නා බව මම යළිත් ප‍්‍රකාශ කරමි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයවේවා!යැයිද පණිවුඩයේ විය.

උපුටා ගැනීම – කොළඹ, ලංකාපුවත්

Share this: