ලිංගික අල්ලස් කමිටු වාර්තාව තවම හමස් පෙට්ටියේ ද ?

ලිංගික අල්ලස් කමිටු වාර්තාව තවම හමස් පෙට්ටියේ ද ?

ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව ආරම්භවීමට ඇත්තේ තවත් දින තුනක කාලයක් පමණි. වසර 1996දී අර්ජුන රණතුංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලහෝර් නුවර දී ‍‍ලෝක ක්‍රිකට් කිරුළ අත්කරගත් ස්වර්ණමය අවස්ථාව මේ මොහොතේ අපට සිහිපත්වේ. ඔවුන් ලෝක ශූරයන් බවට පත්වූයේ ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක ශූරයන්වීමට නොහැකිබවට ඇතැමුන් මත පළකොට තිබූ කාලයකදීය.

ශ්‍රී ලංකාවට එවැනිම ආකාරයේ ජාත්‍යන්තර කීර්තියක් අත්කරදීමේ හැකියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද තිබේ. ඒ සඳහා අවශ්‍ය කැපවීම හා උනන්දුව කණ්ඩායමට එක්වී සිටින සියලුම ක්‍රීඩිකාවන් සතුය. එහෙත් කනගාටුදායක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේ උනන්දුවක් නිසි බලධාරීන්ට නොතිබීමය.

ජයග්‍රහණ සඳහා අවශ්‍ය වැදගත්ම සාධකය වන ක්‍රීඩිකාවන්ගේ මානසික පසුබිම සකස්කරනු වෙනුවට අදාළ බලධාරීන් එම ක්‍රීඩිකාවන්ගෙන් වෙනත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කටයුතු කිරීම පසුගිය කාලය පුරා දක්නට ලැබීණි. එහි වඩාත්ම ශෝචනීය සිදුවීම වූයේ ජාතික කාන්තා පිලට ඇතුළත්විමට නම් ඇතැම් නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබාදිය යුතුව ඇති බවට පැන නැගුණු ‍චෝදනාවය. කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය උණුසුම් කළ මේ ආන්දෝලනාත්මක පුවත සම්බන්ධව සිදුකළ පරීක්ෂණ කටයුතු වර්තමානයේ දී මන්දගාමී ස්වරූපයක් ගැනීම පිළිබඳ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ විමතියට ලක්වී ති‍බේ.

එක්තරා ජාතික පුවත්පතක් මගින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී මේ පුවත පළමුවරට අනාවරණය කර තිබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව පත්කළ ඒක පුද්ගල කමිටුවේ නීතිඥ මනෝලි ජිනදාස මෙනෙවිය‍ පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් ක්‍රීඩිකාවන්ගෙන් ද, කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකාරීත්වයෙන් ද වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කරමින් සිය වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාර දී තිබිණි.

මනෝලි ජිනදාස කමිටු වාර්තාවට අනුව ඉහත කී ‍‍චෝදනාවේ යම් සත්‍යතාවක් ඇති බවටත්, වැඩිදුර පරීක්ෂණයකට අවශ්‍ය කරුණු අනාවරණය වී තිබූ බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය. අනතුරුව මේ වාර්තාව පිළිබඳ වැඩිදුර පරික්ෂණයක් පැවැත්වීමට එවකට හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූව ද මේ මොහොත දක්වාම එහි පරීක්ෂණ නිමාවට පත්නොවීම විමතියට කරුණකි.

මූලික පරීක්ෂණවල දී තහවුරු වූ පරිදි අදාළ චෝදනාවට හසුවී සිටියේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා ‍තේරීම් කමිටුවේ සාමාජිකයෙකි. දෙදෙනාම මේ වනවිටත් එම කාර්යයන්හී නිරතව සිටීම නළල රැලිගන්වන සිදුවීමකි‍. ‍‍චෝදනාවට හසුවී සිටින කාන්තා ක්‍රිකට් කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ ද සාමාජිකයෙකි. ඔහු තවත් ක්‍රීඩා සමාජ දෙකක නිලතල හොබවන අතර කාන්තා ක්‍රිකට් තරගාවලි ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු මාසික වේතනයක් ලබන කණ්ඩායම් කළමකාරධුරයේ කටයුතු කරන්නේ කෙලෙසකදැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝදෙනකුට ගැටලුවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී අදාළ පුද්ගලයා සතු ක්‍රීඩා සමාජ ඡන්ද දිනාගැනීමේ අභිප්‍රායෙන් මේ පරික්ෂණ කටයුතු ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරු දරන බලධාරීන් විසින් වුවමනාවෙන්ම අඩාල කර ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් චෝදනා නගති.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිග පළල මැන බැලීම පසෙකලා ක්‍රීඩිකාවන්ගේ මානසික පසුබිම සකස් කිරීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි ලබාදීමටත් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා කාන්තා පිල ද ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නංවන දිනය වැඩි ඈතක නොවන බව ඉඳුරාම පැවසිය හැකිය.

Share this: