ලක් බුදු සසුනේ මිණි පහනක් බඳු වූ උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමිපාණෝ

ලක් බුදු සසුනේ මිණි පහනක් බඳු වූ උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමිපාණෝ

asgiri2මෙරට බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අනුපමේය සේවාවක් කළ භික්ෂුන් වහන්සේ අතර මහා විහාර වංශික ශ්‍යාමෝපාලික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයකි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විසිවැනි මහානායක හිමියන් වූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක හාමුදුරුවන් වහන්සේ අපවත්වීම ශ්‍රී ලංකාවාසී අප කාටත් ඉතාමත් සංවේගජනක කරුණකි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කළ මහා විහාර වංශය වළගම්බා රජුගේ යුගයේදී දිඹුලාගල සිට සෙංකඩගල තෙක් පැමිණ ඇත. එහිදී ආරම්භ කළ ආයතනය වන්නේ අස්ගිරි මහා විහාරයයි.

අවුරුදු 700 ක පමණ ඉතිහාසයකට මෙම මහා විහාර වංශය උරුමකම් කියයි. එම මහා විහාර වාංශික සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කළ හිමිනමක් ලෙස උන්වහන්සේ විසින් භාරදූර කාර්යභාරයක් ඉටුකරන ලදී.

බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේ උපත ලැබුවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුගම ග්‍රාමයේදීය. ඒ 1930 වර්ෂයේ මාර්තු 17 වනදාය. උඩුගම විසූ ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නිලමේතුමා සහ ජයසුන්දර මුදියන්සේලාගේ මුතු මැණිකේ යන දම්පතීන්ට දාව ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහ යන නමින් එකුමරුවෝ මෙළොව එළිය දුටුවේය.

1934 වර්ෂයේ මැයි මස 14 වන දා උඩුගම පාසලට ඇතුළත් වූ අමරසිංහ කුමරුවා එහි අටවන පන්තිය දක්වා සිප්සතර හැදෑරීය.

පාසල් අවදියේදී ම තම මවගේ හදිසි වියෝව ද සිදුවිය. පසුව වයස අවුරුදු පහළොව වන විට පැවිදි දිවියට ඇතුළු විය. එනම් 1945 දීය.

අස්ගිරි මහා පාර්ශ්වයේ උඩුගම ශ්‍රී රතනපාල හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙස උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත යන නමින් උඩුගම විහාරයේදී තම පැවදි දිවිය ආරම්භ කළේය.

මූලික බණ දහම් හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මාත‍ලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනට උන්වහන්සේ ඇතුළුවීමෙන් පසුව පණ්ඩිත පරණගම සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ සහ පණ්ඩිත මේල්පිටියේ සෝමරතන නායක ස්වාමීන් වහන්සේලා වෙතින් උසස් අධ්‍යාපනය ලැබූහ.

උඩුගම ශ්‍රී රතනපාල මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එනම් 1970 දී උඩුගම විහාරයේ නායක තනතුරට පත්වූහ. පසුව එම විහාරස්ථානයේ සියලු වගකීම් දරමින් වැඩකටයුතු සිදුකළහ. පරිත්‍යාගශීලී හා නිහතමානී ගුණයෙන් යුතු උන්වහන්සේ 1992 වසරේදී ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පත්විය.

බුද්ධ රක්ඛිත හිමියන් උන්වහන්සේගේ ශාසනික මෙහෙවර තවත් පුළුල් කරමින් 1998 වසරේ ඔක්තෝබර් 04 වන දා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක තනතුරට පත්වූහ. සැදැහැතියන් විසින් උන්වහන්සේට කරන ලද ආරාධනා සියල්ල ඉතා නිහතමානීව පිළිගත් උන්වහන්සේ ඉතා දැහැමි දිවි පවෛතක් ගත කළහ.
මෙසේ වැඩවාසය කරන අතරතුර අස්ගිරි මහා විහාරයේ  වැඩසිටි පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම තනතුර සඳහා 1999 දෙසැම්බර් 13 වන දින බුද්ධ රක්ඛිත හිමියෝ පත්වූහ. ඒ අනුව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විසිවැනි මහානායක ස්වාමීන් වහන්සේ ලෙස උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ සැලකෙති.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරය යනු ශාසනික වශයෙන් ඉතා ඉහළ තනතුරකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් වැලිවිට අසරණසරණ සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය ලබා දීමෙන් අනතුරුව උප සංඝරාජ තනතුරු ලෙස සැලකුවේ අස්ගිරි හා මල්වතු මහා නායක ධුරයන්ය. පසුකාලීනව සංඝරාජ තනතුර අහෝසි වීමෙන් පසු මෙම මහානායක තනතුරු දෙක සංඝරාජ පදවිය ලෙස සලකනු ලැබිය.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේට නිල බලයෙන්ම දළදා වහන්සේගේ තේවාව භාර කටයුතු හිමිවේ. ඒ අනුව දළදා වහන්සේ වැඩසිටින කුටියේ රන් යතුරක්ද උන්වහන්සේ භාරයේ පැවතුණි. දළදා වහන්සේ සම්බන්ධ සියලුම කටයුතු සිදුකිරීමේ දී බුද්ධ රක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වය නිරන්තරයෙන්ම ලබාදුන් අතර දළදා මාලිගාවේ තේවාව කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ මහානායක හිමිපාණන් වහන්සේ විසින් සිදුකරන ලදී.

ලොකු කුඩා කාගෙත් ප්‍රසාදය දිනාගත් කරුණාවන්ත, පරිත්‍යාගශීලී ස්වාමීන් වහන්සේ නමක් වූ ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ සැමවිටම අන්අයට පරිත්‍යාගශීලීව උපකාර කරනු ලබයි. තවද දළදා මාලිගාවේ සංවර්ධන කටයුතුවලදී උන්වහන්සේ විසින් ලබාදුන් දායකත්වය අගය කළ යුතුය. මෙරට පමණක් නොව විදේශීය බෞද්ධ රටවල ද ජන ප්‍රසාදයට ලක්වූ හිමි නමකි. තායිලන්තය, තායිවානය හා කොරියාව වැනි රටවල සඟරජ හිමි ලෙස සලකනු ලබන්නේ ද උන්වහන්සේයි.

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක හිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලංකාවාසී සැමටම ඉතාමත් සංවේගජනක සිදුවීමකි.

සෑමවිටකම රාජ්‍ය නායකයන්ට පවා අවශ්‍ය අවස්ථාවලදී අවවාද අනුශාසනා ලබාදෙමින් විශාල ශාසනික මෙන්ම සමාජීය කාර්යභාරයක් ඉටුකරනු ලදී. අතීතයේ පටන්ම රටේ රාජ්‍ය නායකයන් පත්වූ පසු දළදා වහන්සේ වන්දනා කර මහානායක හිමියන්ගෙන් ආශිර්වාද ලබාගෙන අනුශාසනා ලබාගැනීම සිරිතයි. රටේ අර්බුද අවස්ථාවලදී පවා උන්වහන්සේ විවිධ අනුශාසනා ලබා දුන්හ.

වසර අසූ පහක (85) කාලයක් ආයුෂ වින්දනය කළ බුද්ධ රක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම මෙරටට ශාසනික වශයෙන් පිරවිය නොහැකි අඩුවකි. කලක් අසනීපයෙන් පසුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහ‍ලේදී බුද්ධරක්ඛිත මහා නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව සැලවීමත් සමගම ලාංකික ජනයාගේ හදවත් තුළ පහන් සංවේගයක් ඇතිවූයේ උන්වහන්සේ ලොකු කුඩා කා අතරත් ගෞරවාදරයට පාත්‍ර වූ හිමිනමක් නිසාවෙනි. බුද්ධ ශාසනයට, දේශයට මිණි පහනක් වූ ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක හිමිපාණන් වහන්සේට උතුම්වූ නිර්වාණ සම්පත්තියම ප්‍රාර්ථනා කරමු.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

Share this: